මියගිය මවට තනි රකින අලි පැටවා

මියගිය මවට තනි රකින අලි පැටවා

රෝගී තත්ත්වයකින් මියගිය අලි මවකගේ පැටවෙකු ත්‍රිකුණාමලය, මොරවැව ගුවන් හමුදා කඳවුර අසලින් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය අඩවි කාර්යාලය කියයි.

රෝගී තත්ත්වයෙන් ඇවිදගත නොහැකිව වැටී සිටි අලි මව අසල පැටවා සිටි අතර මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් මේ බව දැනුම් දුන් බව වනජීවී අඩවි ආරක්ෂක එන්. සුරේෂ් කුමාර් මහතා පැවැසීය.

අලි මවට වනජීවී පශු වෛද්‍ය ඩබ්. එම්. ධර්මකීර්ති මහතා විසින් ප්‍රතිකාර කළද අලි මව බේරා ගැනීමට නොහැකි විය. පශු වෛද්‍ය ධර්මකීර්ති මහතාගේ උපදෙස් මත අලි පැටවා රිටිගල ඇත් අතුරු සෙවණට භාර දුන් බව සුරේෂ් කුමාර් මහතා පැවැසීය.

වනජීවී අඩවි ආරක්ෂක එන්. සුරේෂ් කුමාර මහතා සමඟ මෙම අලි පැටවා ඇත් අතුරු සෙවණට භාරදීමට වනජීවී නියාමකවරුන් වන පූර්ණ නවරත්න, අයේෂ් හසිත, රොෂාන් ලක්මාල් යන මහත්වරු ද දායක වූහ.

මෙම අලි පැටවා හමුනොවූයේ නම් කැලයේ අතරමං වී ජීවිත අවධානමකට ලක්වීමට ඉඩ තිබුණි. අලි මවට ප්‍රතිකාර කිරීමේ සිට අලි පැටවා බේරා ගැනීමට මොරවැව ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් හා ගුවන් භටයන් දැක්වූ සහය ද මෙහිදී අඩවි ආරක්ෂක සුරේෂ් කුමාර් මහතා සිහිපත් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා