රජයේ ප්‍රථම ටින් මාළු කම්හල හෙට ජනපති අතින් විවෘත වෙයි

රජයේ ප්‍රථම ටින් මාළු කම්හල හෙට ජනපති අතින් විවෘත වෙයි

ලංකාවේ ප්‍රථම, රජයේ ටින් මාළු කර්මාන්ත ශාලාව හෙට (03 දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී විවෘත වෙයි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරුන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

රුපියල් ලක්ෂ 840 ක වියදමින් ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී විවෘත වන මෙම ටින් මාළු කර්මාන්ත ශාලාව ලංකා ධීවර සංස්ථාව සහ හැපි කුක් ලංකා ෆුඩ්ස් (පුද්ගලික)සමාගම සමග ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් ලෙස කටයුතු කරයි.මෙම කර්මාන්ත ශාලාවෙන් දිනකට සැමන් ටින් 10,000ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇත.

මේ සඳහා එළඹි ගිවිසුම් අනුව මෙහි නිෂ්පාදන CEYFISH නම් ලංකා ධීවර සංස්ථා ලාංඡනය යටතේ බෙදා හරිනු ලබයි.

මේ ඒකාබද්ධ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ ලංකා ධිවර සංස්ථා සභාපති මහීල් සේනාරත්න මහතා වන අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 න් 03 දෙනකු හැපි කුක් ලංකා ෆුඩ්ස් සමාගමෙන් පත්කරනු ලබයි.

නව ටින් මාළු කර්මාන්ත ශාලාව පිළිබඳ අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා දිනකට මෙරටේ සැමන් ටින් 50,000ක් පමණ පරිභෝජනය වන බවත් ,ඔවුන් ගෙන් වැඩි ප්‍රතිශතය අඩු ආදායම්ලාභී ජනතාව බවත් , නව කර්මාන්ත ශාලාව තුළින් පාරිභෝගික අවශ්‍යතා සහන මිලකට සැපයිය හැකි බවත් කීය. මෙම ටින් මාළු කර්මාන්ත ශාලාවට අමතරව ඉදිරි කාලයේදී මුන්දලම සහ පෑලියගොඩදී තවත් ටින් මාළු කර්මාන්ත ශාලා 02 ක් විවෘත කිරීමට අපේක්ෂිත බවත් ඇමැතිවරයා පැවැසීය. මම කර්මාන්ත ශාලාවේ නිපදවන සෑම මාළු ටින් එකකින්ම ලංකා ධීවර සංස්ථාවට රුපියල් 10 ක මුදලක් ද හිමිවන බවද ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා