මහනුවර ජනපති මැදුරේදී මිහිකත හෝරාව සැමරේ

මහනුවර ජනපති මැදුරේදී මිහිකත හෝරාව සැමරේ

මතු පරපුර සඳහා පරිසරය ආරක්‍ෂා කැරදීම සඳහා අප දැන් සිටම කැපකිරීම් කළ යුතුය යන්න පෙරදැරිව මිහිකත හෝරාව සැමරීමේ ජාතික උත්සවය පෙරේදා (31) ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මන්දිරයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.

මිහිකත හෝරාව සමරමින් පස්වරු 8.30 සිට 9.30 දක්වා පැයක කාලයක් මහනුවර ජනපති මන්දිරයේ සියලු විදුලි ආලෝකය නිවා දමා කොප්පරා දැල්වූ එළියෙන් උත්සවය පැවැත්විණි. විදුලි ආලෝකය නිවා දමන විට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.

පොසිල ඉන්ධන භාවිතයේ ඉහළ යෑමත් සමඟ පරිසරයට මුදාහැරෙන අසීමිත කාබන් ප්‍රමාණය හේතුවෙන් ගෝලීය උණුසුම වැඩිවී සුවිශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව දේශන හා රූපමය මාධ්‍ය මගින් දැනුවත් කිරීම මෙහිදී සිදු කැරුණි.

එක් විදුලි බුබුලක් නිවා දමා ගෝලීය උණුසුම ඉහළ යෑම වැළැක්වීමට තමන් අද කරන කැපකිරීම මතු පරපුරේ පැවැත්ම සඳහා හේතුවන බව මෙහිදී පෙන්වා දුන් අතර රාජ්‍ය නායකයා ලෙස ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ද ආදර්ශයක් දෙමින් ජනපති මැදුරේ සියලු ආලෝකය පැයකට නිමා දැමීමට පියවර ගත්තේය.

තමන් හුස්මක් හෙළන ගානේ මාගේ හුස්මෙන් මිහිකත රැකේවා යන ප්‍රාර්ථනය සමඟ පරිසරය සුරැකීමේ අවංක ආදර්ශය රාජ්‍ය නායකයා ලබා දෙන්නේ නම් සමස්ත ජාතියටම එම හැඟීම කාවදින බව ද මෙහිදී ජනපතිවරයා කීය.

විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක, විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් පරිසර ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා