අතිරේක ආහාර බෝග 11ක නිෂ්පාදන වැඩිකරන සැළසුම්

අතිරේක ආහාර බෝග 11ක නිෂ්පාදන වැඩිකරන සැළසුම්

අතිරේක ආහාර බෝග නිෂ්පාදන කඩිනම් වැඩපිළිවෙළ යටතේ මෙම වසරේ දී බෝග 11 ක නිෂ්පාදනය වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් සකස් කර තිබේ.

ලොකු ළූණු, රතු ළූණුු, වියළි මිරිස්, බඩ ඉරිඟු, කුරක්කන්, මුං ඇට, කඩල, කවුපි, සෝයා බෝංචි, රටකජු හා තල එම බෝග වර්ග වන අතර මේ බෝග නිෂ්පාදනය කළ හැකි ප්‍රදේශවලට අවශ්‍ය බීජ, පොහොර ඇතුළු සියලු අවශ්‍යතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සපයනු ලැබේ.

මෙම නව වැඩපිළිවෙළට අනුව 2015 දී ලොකු ළූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 240570 ක් දක්වාත් 2020 දී එම ප්‍රමාණය 250300 ක් දක්වාත් වර්ධනය කර ගැනීම මෙහි අරමුණ වේ.

ඉකුත් වසරේ දී ලොකු ළූණු මෙට්‍රික් ටොන් 158086 ක් ආනයනය කර තිබෙන අතර 2015 වන විට ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000 කින් අවම කර ගැනීම මෙහි ඉලක්කය වී ඇත. රතු ළූණු නිෂ්පාදනය 2015 දී මෙට්‍රික් ටොන් 56500 ක් දක්වාත් 2020 දී එය 60750 දක්වාත් වැඩි කිරීමට අරමුණු කර තිබෙන අතර ඉකුත් වසරේ දී රතු ළූණු මෙට්‍රික් ටොන් 11908 ක් ආනයනය කර තිබේ. 2015 වන විට රතු ළූණු ආනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ක් දක්වා අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ.

වියලි මිරිස් මෙට්‍රික් ටොන් 37762 ක් ඉකුත් වසරේ දී ආනයනය කර ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2000 ක් දක්වා අඩු කර ගැනීම සඳහා වසර 2015 වන විට මෙරට වියලි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 52500 ක් දක්වාත් 2020 දී එය මෙට්‍රික් ටොන් 60850 ක් දක්වාත් වර්ධනය කිරීමට අමාත්‍යාංශය සැළසුම් කර ඇත. බඩඉරිඟු නිෂ්පාදනය 270320 ක් දක්වාත් කුරක්කන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 27150 ක් දක්වාත් මුංඇට නිෂ්පාදනය 45170 ක් දක්වාත් කඩල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18590 දක්වාත් කවුපි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20000 ක් දක්වාත් සෝයා බෝංචි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 14600 දක්වාත් රට කජු මෙට්‍රික් ටොන් 21920 ක් දක්වාත් තල මෙට්‍රික් ටොන් 17650 ක් දක්වාත් 2015 වන විට වර්ධනය කිරීම අමාත්‍යාංශයේ සැළසුම වේ. අනුව ලොකු ළූණු වගා කරන බදුල්ල, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල හා පොළොන්නරුව ප්‍රදේශවල හෙක්ටයාර් 200 ක් වගා කිරීම සඳහා ලක්ෂ සියයක මුදලක් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට නියමිතය.

මීට අමතරව අනෙකුත් බෝග වර්ග වගා කිරීම සඳහා ද ආදාළ දිස්ත්‍රික්වල ලේකම්වරුන්ට ප්‍රතිපාදන වෙන් කරදීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා