කිතුලක වරුණ කොළඹ දී

කිතුලක වරුණ කොළඹ දී

කිතුල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ මූලික අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන “කිතුලක වරුණ - 2012” ප්‍රදර්ශනය හා අළෙවි පොළ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශි ශාලාවේදී මේ මස 05 - 07 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

දේශීය කිතුල් නිෂ්පාදන නංවාලීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ජාතික කිතුල් සංවර්ධන ජාතික වැඩසටහන මේ ප්‍රදර්ශනය සංවිධානය කරන තිබේ.

කිතුල් නිෂ්පාදනයන්ට අමතරව තල් නිෂ්පාදන රැසක් මේ අවස්ථාවේදී දැකබලා ගැනීමට හා මිල දී ගැනීමට නොමිලේ අවස්ථාව උදා වන බවත් වාර්ෂිකව පවත්වන මේ ප්‍රදර්ශනය හරහා කිතුල් කර්මාන්තකරුවන් දිරි ගැන්වීම සඳහා ජයග්‍රාහි කර්මාන්තකරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීමටද කටයුතු යොදා තිබෙන බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා කීය.

කිතුල් හා තල් නිෂ්පාදන කර්මාන්ත සඳහා සහාය වන රාජ්‍ය ආයතනයන්හි ප්‍රදර්ශන කුටි 08ක් ද ඇතුලුව අළෙවි කුටි 40ක් මෙයට ඇතුලත් වන අතර පැණි හකුරු, ආහාර හා බීම වර්ග, හස්ත කර්මාන්ත නිෂ්පාදන, දැව නිෂ්පාදන මේ ප්‍රදර්ශනයට ඇතුලත් වේ.

උතුරු ප්‍රදේශයේ 1974 වසරේ ආරම්භ කළ තල් පර්යේෂණ ආයතනය යුද්ධය හේතුවෙන් විනාශයට පත් වූ අතර එහි ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු ඉන්දියාවේ සහයෝගයද ඇතිව කඩිනමින් අවසන් කරන බවද ඇමැතිවරයා මෙහිදී කීය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් මේ වැඩපිළිවෙළ සඳහා විශේෂ දායකත්වයක් සපයන බවත් කිතුල් කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිලියන 20ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් මේ අවස්ථාවට සහභාගී වූ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා පැවැසීය.

කිතුල් කර්මාන්තයට පුහුණු කරුවන් 50 දෙනකු අනුයුක්ත කිරීමට මේ වසර තුළ අවශ්‍ය පියවර ගන්නා බවත් එයට සමගාමීව තල් කර්මාන්තයද නගා සිටුවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

ඉදිරි තෙමස තුළ කිතුල් නිෂ්පාදනයන්ට නිසි ප්‍රමිතිකරණයක් ලබා දීමටත් සීනි වෙනුවට ආදේශකයක් ලෙස කිතුල් මිශි‍්‍රත ආහාර යොදා ගැනීමටත් කිතුල් නිෂ්පාදනවල සීනි හා වතුර ප්‍රමාණය මැන බැලීමේ මීටර් හා ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමටත්, කර්මාන්තකරුවන්ට රක්ෂණාවරණ ක්‍රම ලබා දීමටත් කටයුතු කරන බව මෙහිදී හෙළි විය.

තවත් කර්මාන්තකරුවන් 50ක් අපනයන මට්ටමේ නිෂ්පාදන බිහි කරන කර්මානත්තකරුවන් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව වේ.

සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. ශිවඥානසෝධි මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ජාතික කිතුල් සංවර්ධන වැඩසටහනේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා