අපේ උගත් පාඩම් වාර්තාවේ අයිතිය ඇතැමුන් උදුරාගන්න හදනවා

අපේ උගත් පාඩම් වාර්තාවේ අයිතිය ඇතැමුන් උදුරාගන්න හදනවා

ජනපති

අප විසින්ම ක්‍රියාත්මක කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ අයිතිය උදුරා ගන්නට ඇතැමුන් උත්සාහ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එලෙස උදුරාගෙන අපි විසින්ම එම වාර්තාව සඳහා අන්තර්ගත කළ නිර්දේශ මෙන්ම මේ මේ දේවල් ක්‍රියාවට නංවන්නැයි ඔවුන් අපිටම බලපෑම් කරන බවද ඒ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ නව පරිපාලන ගොඩනැගිල්ල, පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ ඒකකය සිසු අයිතියට පැවරීම මෙන්ම “අභිමන් මාතා” උපහාර උළෙල අමතමිනි. ඉතිහාසයේ පටන් මානව හිමිකම් යන්න දන්නා අපට වෙනත් කිසිවකු ඒවා අපට පුරුදු පුහුණු කළයුතු නැතැයි සඳහන් කළ ජනාධිපතිවරයා වසර දෙදහස් පන්සියයකට පෙර බුදු දහම වැළඳගත් දා සිට මානව අයිතීන් පුරුදු පුහුණු කළ අපේ රටට මානව හිමිකම් යන්න තුට්ටුවකටවත් මායිම් නොකර වචනවලට පමණක් සීමා කරන අය ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ යැයි සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ බුදු දහම ශ්‍රී ලංකාවට වැඩි දවසේ සිට මානව අයිතීන් ගැන කතා කරන්න, ඊට ගරු කරන්න අපි පුරුදු වූ බවය.

අපේ රටට හොඳ ඉතිහාසයක් තිබෙන බවද අතීත රජදරුවන්ගේ සිට කිසිවෙකුගෙන් වහලුන් ලෙස වැඩගෙන නොමැති බවද සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා රජවරුන් ලබාගත් ශ්‍රමයට හොඳ වටිනාකමක් එකතු කරමින් ඔවුන්ගේ මානව අයිතීන් තහවුරු කර තිබෙන බවද පැවසීය. අපට මානව හිමිකම් කඩ කරන්නේ යැයි විදුරු ගෙවල්වල සිට ගල් ගහන උදවිය කැඩපතක් ඉදිරියට ගියොත් මානව හිමිකම් කඩ කරන්නේ කවුරුන්දැයි මැනවින් පෙනෙන බවද සඳහන් කළේය.

ඔබ සැම අප වෙත දැක්වූ සහයෝගය අගය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එහිදී දේශපාලන හෝ ආගමික හෝ අන් කිසිදු භේදයකින් තොරව සහයෝගය දැක්වූ බවද එහිදී ලෝකයාට අපේ හඬ කියා පෑ බවද ප්‍රකාශ කළේය. එහෙත් කනගාටුව දේශපාලන ඕනෑ එපාකම් මත අපේම රටේ ඇතැම් පිරිස් රට පාවා දීමට කටයුතු කරනු දැකීම බව කී ඒ මහතා ඔවුනටද අනුකම්පා කරන බවත් මතු දිනක හෝ රට පාවා නොදී රටට දැයට ආදරය කිරීමට පුරුදු පුහුණු වුවහොත් ඔවුන් වෙතද රටේ ජනතාව ආදරය කරාවි යනුවෙන් කීවේය. සබරගමුව පළාත් ආණ්ඩුකාර වි. ජ. මු ලොකු බණ්ඩාර, මහ ඇමති මහීපාල හේරත්, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ලාල් ග්‍රේරු, රංජිත් සොයිසා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා