මංගල ටෙස්ට් සටනේ ප්‍රතිවාදී එංගලන්තය වසර 30ක සැමරුමේ දී නැවැත හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අමරණීය සිහිවටනයක්

මංගල ටෙස්ට් සටනේ ප්‍රතිවාදී එංගලන්තය වසර 30ක සැමරුමේ දී නැවැත හමුවෙයි

ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබී වසර 30ක් දැන් ගතවී ඇත.

එදා 1982දී මංගල ටෙස්ට් තරගයේ ප්‍රතිවාදීන්ම 30 වසරක ඓතිහාසික සැමරුමේ දී මෙරට පළමු ටෙස්ට් ක්‍රීඩාංගණයේ දීම ශ්‍රී ලංකාවට නැවැත හමුවීම හෙට පෙරවරුවේ සිදුවේ.

ශ්‍රී ලංකා පිලේ නායක බන්ධුල වර්ණපුර සහ එංගලන්ත පිලේ නායක කීත් ප්ලෙචර් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පැමිණි අයුරු

වසර 30කට පෙර පැවැති මංගල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වය බන්ධුල වර්ණපුර විසින් ද එංගලන්ත පිලේ නායකත්වය කීත් ෆ්ලෙචර් විසින් ද මෙහෙයවූහ. ඒ මංගල ටෙස්ට් තරගයේ මතකය ශ්‍රී ලංකාවට අමිහිරි වූයේ තරගය දින 4කින් නිමා වී කඩුලු 7ක පරාජයක් ද හිමිවීමෙනි.

ඒ මංගල ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රංජන් මඩුගල්ල, අර්ජුන රණතුංග හා රෝයි ඩයස් අර්ධ ශතක ලබා ගත්හ. එංගලන්ත දඟ පන්දු බලඇණියේ ශක්තිමත් ක්‍රීඩකයන් වූ ඩෙරික් අන්ඩර්වුඩ් හා ජෝන් එම්බියුරි ශ්‍රී ලංකා පිල අසරණ කළහ.

ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ පළමු පිතිකරු යුගලය ලෙස සිදත් වෙත්තමුණි, බන්ධුල වර්ණපුර හා පළමු පන්දුව යැවීමේ ගෞරවය අසන්ත ද මෙල්ට හිමිවුණි.

වසර 30ක් ගෙවී යද්දී ශ්‍රී ලංකා පිල මහේල ජයවර්ධන විසින් ද එංගලන්ත පිල ඇන්ඩෘ ස්ට්‍රෝස් විසින් ද මෙහෙයවති. වසර 30කට පසු දෙපිල හමුවෙද්දී එංගලන්තය ටෙස්ට් ලොව අංක එකේ පසුවූ ද ශ්‍රී ලංකාව වෙතින් ගාල්ලේ දී ලද පරාජයේ පීඩනය තදින් දැනෙනු ඇත.

ශ්‍රී ලංකා පිල ගෙවුනු වසර 30ක ටෙස්ට් ඉතිහාසයේ දී පරිවර්තන රැසකට භාජනය වූ කණ්ඩායමකි.

ටෙස්ට් තත්ත්වය ලැබී මාස කිහිපයක් ගතවෙද්දී ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට වසර 25ක තරග තහනමක් පැනවීම ඇතුළු සිදුවීම් ගණනාවක් ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ලියැවී ඇත. ටෙස්ට් රටක් ලෙස ලෝක එක්දින සූරතාව දිනා ගැනීම හා දෙවරක්ම ලෝක අනුසූරයන් වීම ද ඉතිහාස පොත අලුත් කිරීමකි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලට නායකයන් 12ක ගේ මගපෙන්වීම ලැබී තිබේ. බන්ධුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්, ඩී. එස්. ද සිල්වා, රංජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර හා ටී. එම්. ඩිල්ෂාන් එම දොළොස්දෙනා වෙති.

දෙස් - විදෙස් පුහුණුකරුවන් 15ක ගේ පමණ සේවය වරින්වර ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල මෙතෙක් සහභාගි වූ තරග 211ක දී ජයග්‍රහණ 63ක්, පරාජ 75ක් හා ජය පරාජයෙන් තොරව තරග 73ක් නිමාකොට ඇත.

ගතවූ වසර තිහේදී ක්‍රීඩකයන් 122ක් ටෙස්ට් වරම් දිනා තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංගී‍්‍රසි හෝඩියේ අනුපිළිවෙළ අනුව අසන්ත ද මෙල්ගෙන් ආරම්භ වී දිනේෂ් චන්දිමාල් දක්වා ලියැවී තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස මහේල ජයවර්ධන (ලකුණු 10271) ඉදිරියෙන් සිටී. ටෙස්ට් ක්‍රිකට් ලෝකය උඩු යටිකුරු කරමින් වැඩිම කඩුලු ලාභියා ලෙස මුත්තයියා මුරලිදරන් (කඩුලු 800) ඉදිරියෙන්ම සිටීම වසර 30ක ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමයට රන් සලකුණක් එක්වූ සිදුවීමකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා