ගුණරත්නම් හා ජන අරගල

ගුණරත්නම් හා ජන අරගල

කුමාර් ගුණරත්නම් නමැති පුද්ගලයකුගේ අතුරුදන් වීමක් ගැන ද; දිමුතු නම් තැනැත්තියකගේ අතුරුදන් වීමක් ගැන ද වර්ණ පෝස්ටරයක් ප්‍රසිද්්ධ තැන්වල අලවා තිබිණි. ඒ සමඟ ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නම් දේශපාලන ව්‍යාපාරයක ප්‍රථම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවට ද පෝස්ටරයක් අලවා තිබිණි. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සිය පුරවැසියකුගේ අතුරුදන්වීමක් ගැන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලින් විමසන්නේ මේ අතර ය. මේ සිදුවීම් පෙළ බරපතළ දේ්ශපාලන කුමන්ත්‍රණයක එක් – එක් ජවනිකා ලෙස සැලකිය හැකි ය.

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා සාංස්කෘතික දේහයට කරන ලද හානිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 1971 දී ප්‍රගතිශීලී ආණ්ඩුවකට පහර දුන් ඔවුහු රටේ බුද්ධිමත් තරුණ කණ්ඩායමක් වළ පල්ලට යැවූ හ. ඉන් නොනැවතුණු ඔවුහු නැවත වරක් 1988 දී එම විනාශය ම සිදු කළ හ. මේ වන විට ජ.වි.පෙ දෙකට කැඩී එක් ප්‍රවාහයක් ප්‍රජාතන්ත්‍රවාදය ද අනෙක් ප්‍රවාහය අරගලකාරී මාවත ද තෝරාගෙන සිටිති. ජන අරගලයක් ගැන කතා කරන දෙවන පිරිස මේ අලුත් ම නාටකයට සම්බන්ධ වී සිටී.

අප මේ මොහොතේ සාකච්ඡා කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පළමු වැන්න ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මිදී සාමය හා නිදහස දිනාගත් රාජ්‍යයක් බව ය. එම සාමයට, නිදහසට හා අලුත් සංවර්ධන ව්‍යාපාරයට අභියෝග කරන විනාශකාරී ව්‍යාපෘති මැඩ පැවැත්විය යුතු ය. දෙවැන්න අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව නැඟෙන ව්‍යාජ මානව හිමිකම් චෝදනාවලට ඉතා බුද්ධිමත් ව පිළිතුරු සැපයිය යුතුය. තෙවැන්න අන්තර් ජාතික වශයෙන් ද, දේශීය වශයෙන් ද ක්‍රියාත්මක වන දේශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතු ය.

ඉහත සඳහන් කරුණු තුන දේශපාලන අභියෝගයක් ලෙස පවතී. ජන අරගල හා විප්ලව ගැන කතා කරන අය ම පෙරළා ත්‍රස්තවාදය සමඟ සම්බන්ධ වෙති. මේ සම්බන්ධය දේශීය වශයෙන් නො ව අන්තර් ජාතික වශයෙන් බලවත් ව ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට තිබේ. අරගලකාරයන් ධනපති රටවල පුරවැසිභාවය ලබා ගැනීම හා එම රටවල සිට ක්‍රියාත්මක වීම පැහැදිලි ව දකින්නට ලැබේ. ශ්‍රී ලංකාව විනාශ කිරීමට අවශ්‍ය මුල්‍ය ශක්තිය හා ප්‍රචාරය රාජ්‍ය නො වන සංවිධාන වෙතින් ද නො අඩුව ලැබෙන බව පෙනෙ යි.

කුමාර් ගුණරත්නම් නමැත්තා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වීමට සිටි බවක් කියැ වේ. ඔහු මීට පෙර ඊට අදාළ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති බවක් ද කියැවේ. එහෙත් එබඳු තැනැත්තෙක් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවක් හෝ ඔහු ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි බවක් හෝ දැනගන්නට නැත. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රශ්න කර ඇත්තේ කිරිබත්ගොඩ ගැමුණු මාවතේ අංක 291 දරන නිවසේ පදිංචි නොයෙල් මුදලිගේ නම් තැනැත්තකු ගැන ය. බැලූ – බැල්මට මෙය හතර බීරි කතාවකි. තව පැත්තකින් සියල්ල නූල් බෝලයක් සේ පැටැලී ඇත. පළමුව මේ ගැටලුව ලිහා ගත යුතු ව තිබේ.

ප්‍රේම් කුමාර හෙවත් කුමාර් ගුණරත්නම් ගැන ද දිමුතු ආටිගල ගැන ද පොලිස් පරීක්‍ෂණ පැවැත් වේ. මේ වන විට විසි දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති බව ද පරීක්ෂණ දිගට ම පැවැත්වෙන බව ද පොලිසිය කිය යි. විවිධ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෝ නොයෙක් උපාය මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාව වැනි රටවල පුරවැසිකම ලබා ගනිති. තවත් සමහරු ශ්‍රී ලංකාවේ බියකරු තත්ත්වයක් ඇතැ’ යි අසත්‍ය තොරතුරු සපයමින් ඕස්ට්‍රේලියාව, ජපානය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල නේවාසිකව සිටිති. ඔවුහු වරින් – වර තමනට ඇති තර්ජන ගැන අසත්‍ය ලිපි - ලේඛන ඉදිරිපත් කරති. මේ පිටුපස ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයකි.

එන්.ජී.ඕ. සංවිධාන මෙබඳු අය සමඟ කෙලින් ම වැඩ කරති. ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ද මේ බව හොඳින් ම දැක ගත හැකි විය. බටහිර රටවල දේශපාලන රැකවරණ පතන අය දෙමළ ඩයස්පෝරාව සමඟ ද, අන්තර් ජාතික ඊළාම් සංවිධානය සමඟ ද ගනුදෙනු කරති. ඔවුන් ගේ එක් අපේක්ෂාවක් වනුයේ පවත්නා ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් බලයෙන් නෙරපීම ය. එසේ නො කර ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ නොහැකි ය. බෙදුම්වාදය ශක්තිමත් කළ නො හැකි ය. ජන අරගලකාරයන් ගේ ඉලක්කය ද එය ම වේ. ඔවුහු අරාබි වසන්තයක් ශ්‍රී ලංකාවේ ද උදා කිරීමට කුරුමානම අල්ලති.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකත්වය ලැබූ ඕස්ට්‍රේලියාව වැනි දියුණු රාජ්‍යයක් තමන් ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු කර ගත යුතු නැත. ඔවුන් ගේ ක්‍රියා පටිපාටිය විශ්වාසවන්ත හා නිවැරැදි එකක් විය යුතු ය. ශ්‍රී ලංකාව මීට පෙර කුමාර් ගුණරත්නම් නමැති පුද්ගලයා ගැන ඕස්ට්‍රේලියාවෙන් කරුණු විමසා තිබේ. එහෙත් එම යුතුකම ඉටු වී නැත. රාජ්‍යයන් විනාශ කිරීම සඳහා විවිධ ව්‍යාපාර ගෙන යන අය ධනපති රටවල රැකවරණය ලබති. කොටි ජාලයේ ප්‍රබලයෝ ද කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය බඳු ධනපති රටවල රැකවරණය ලබති.

මේ මොහොතේ ජනතාව ද අවදියෙන් හා සිහියෙන් සිටිය යුතු ය. තමන් ගේ දූ – දරුවන් ජන අරගලකාරයන් වෙතින් බේරා ගැනීමේ වගකීම පළමුව පැටවෙන්නේ මාපියන් වෙත ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය. දකුණේ අසාර්ථක කැරැලි දෙකකට විශ්වවිද්‍යාල සිසුහු බහුල ලෙසින් යොදා ගනු ලැබූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා