රට ගැන නොසිතන විපක්ෂයකින් වැඩක් නෑ

රට ගැන නොසිතන විපක්ෂයකින් වැඩක් නෑ

පණ්ඩු බණ්ඩාරනායක
දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති

ටහිර ජාතීන් ලෝක ප්‍රජාව හමුවේ එල්ල කරන චෝදනා කෙතරම් දුරට සාධාරණ සහ යුක්ති සහගත දැයි අද මුළු ලෝකයා හමුවේ පවතින මහත් ආන්දෝලනයකට තුඩු දෙන මතයක් ගොඩනැගී ඇති වකවානුවක ඒ පිළිබඳවත් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා සමග කළ සංවාදයකි මේ.

* අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් ශ්‍රී ලංකාව ඇතුළු ලෝක ප්‍රජාවට එරෙහිව මානව හිමිකම් උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ගෙනෙන චෝදනා කෙතරම් දුරට සාධාරණ දැයි ඔබ හිතනවාද?

ඇත්තටම මෙය සාධාරණය කරනවාට වඩා අසාධාරණීකරණය කිරීමට තමයි වැඩිපුර සාධක තිබෙන්නේ. රටක ත්‍රස්තවාදය නැති කිරීමටත් සාමය සමගිය සහජීවනය ඇති කිරීමටත් නිදහස් රාජ්‍යයකට පරම අයිතිය තියෙනවා. අපේ රටේ කිසිම නායකයෙකු වෙනත් රටක ත්‍රස්තවාදය නැති කරන්නවත් ඒ රටවලට බලෙන් රිංගල ඔවුන්ගේ ස්වෛරීභාවයට හානි සිදු කරන්නටවත් කවදාවත් ගිහින් නැහැ. නමුත් බටහිර ජාතීන් අමෙරිකාවේ නැටවිල්ලට රූකඩ බවට පත් වෙලා ආසියාතිකයන් වන අපට නොයෙක් කෙනෙහෙලිකම් කරනවා.

එයට හොඳම සාධකය තමයි මෑතක සිදුවුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ දී අමෙරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අමෙරිකන් ගැති ඔවුන්ට පක්ෂපාතී තීරණ ගන්න සංවිධානයක් වෙලා එහි බැන්කී මුන් මහ ලේකම් හැටියට ලෝක ප්‍රජාවට පවසන්නෙ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රකාශයන්.

වසර 30 ක යුද්ධය අවසන් කළ රටක් හැටියට ජනාධිපතිතුමා රට සමෘද්ධිය කරා ගෙන යනවා. එය විඳගන්න බැරි බටහිර ජාතීන් අපට දුන්නු උපදෙස් අපි පිළිපදින්නෙ නැතිව තනි මතයක සිට ත්‍රස්තවාදය පරාජය කරපු එකයි.

* ජිනීවා සමුළුවේදී අපට එල්ල කළ චෝදනාව තමයි උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව. මේ ගැන ඔබ දරන මතය මොකක්ද?

උගත් පාඩම් කොමිසම අප විසින්ම පත් කරපු කොමිසමක් නෙ. එහි නිර්දේශයන් අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට ජිනීවා වල යෝජනා අවශ්‍ය නැහැනෙ. අපි විසින්ම පත් කරපු කොමිසම ගත යුතු ක්‍රියා මාර්ග නිර්දේශ කරනවා නම් ඒ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියන මතයෙ මම හැමදාම හිටියෙ. ඒක කවුරුවත් අපට කියන්න වුවමනා නැහැ.

* ජිනීවා සමුළුවේදී රටට එරෙහිව ගෙන ආ යෝජනා හමුවේ ජනතාවම වීදි බැහැලා එයට විරෝධය දැක්වූවා. මෙහිදී විපක්ෂය කළ කාර්යභාරය ඔබ දකින්නේ කොහොමද?

දිනෙන් දින දියාරු වෙන විපක්ෂය බලන්නෙ මොන විදියකින් හරි රටට එල්ල වෙන චෝදනා හමුවේ හරි රට ගැන නොහිතා තමන් ගැන හිතල බලයට එන්නනෙ. මේක පිටරටින් රටට හතුරුකම් කරනවද මෙරට සිට හතුරුකම් කරනවද කොහොම හෝ වේවා ඔවුන්ගේ පැත්ත අරගෙන අද බලයට එන්න පුළුවන් කියල හිතනවා. ඒක නෙවෙයි විය යුත්තෙ. රට තුළ සිදුවන අරගලවලදී දෙපිල බෙදුනත් රටට එල්ලවන විදේශ සතුරු බලවේග හමුවේ එකාවන්ව පෙළ ගැහෙන්න එපායැ. එහෙම වුණා නම් නෙ විපක්ෂයේත් කීර්තිනාමය ගොඩනැගෙන්නේ. මේ ප්‍රශ්නයේදී විපක්ෂයත් සතුරු බලවේග වලට උඩ ගෙඩි දුන්නා.

* මොන විදියකින් හරි විපක්ෂය බලයට ආවා කියමුකො. එහෙම ආවොත් දැන් අපේ රටට විදේශ වලින් එල්ල වන බලපෑම් අඩුවෙයි කියල ඔබ හිතනවද?

ඔව් අඩු වෙනවා මොකද ඔවුන් කියන විදියටනෙ විපක්ෂය වැඩ කරන්නෙ. විදේශ බලවතුන්ට පහසුයි දැන් තියෙන විපක්ෂය හා විශේෂයෙන්ම එහි නායකයා මේ රටේ නායකත්වයට පත් වෙනවට එතකොට රටට වුවමනා දේ නෙවෙයි ජාත්‍යන්තරයට වුවමනා දේයි සිද්ධ වෙන්නෙ. විදේශ බලවතුන් ඔය අර අදින්නෙත් විපක්ෂ නායකයා රටේ නායකයා කරන්න. ඒක තේරුම් ගත්ත නිසා තමයි ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට විරුද්ධව ජනතාව වීදි බැස්සෙ.

* ඔබ විපක්ෂයේ හිටියත් කරන්නෙ බලයට එන්න පවතින රජය විවේනනය කරන එකනෙ? ඒකනෙ අපේ රටේ සම්ප්‍රදාය ?

ඔව් ඒක ඇත්ත. මේක ඉතින් අපේ රටේ දේශපාලනයේ මුල් බැසගත් දෙයක්නෙ. අඩු පාඩු පෙන්වල ඒවා නිවැරදි කරන්න සහය දෙන්නෙ නැහැනෙ. එහෙමනම් ඒ අයට වගේම අපටත් පුළුවන්නෙ අමාත්‍යාංශයක් බාරගෙන තමන්ගේ නිලධාරීන් පත් කරල වැඩ කරල රටට සහයෝගය දෙන්න. නමුත් ශ්‍රී ලංකා දේශපාලනයේ කිසිම විපක්ෂයක් මෙතෙක් එහෙම දෙයක් කරල නැහැ. ගෙඩිය පිටින් බලය ලබා ගන්නයි උත්සහ කරන්නෙ. ශ්‍රී ලංකා දේශපාලනයේ ආකෘතිය ඒකයි.

* ඔබගේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු කොහොමද?

විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවමින් එය ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය ක්‍රමයක් හැටියට ඉදිරියට ගෙන යාමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ටෙලිකොම් ආයතනයත් එක්ක එකතුවෙලා ටෙලිකොම් නාමාවලියේ පිට කවරය සහ යෙලෝ පේජස්වල අපි පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

* දේශීය වෛද්‍ය ක්‍රමය සංචාරක ව්‍යාපාරයේ ආකර්ෂණයට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් නැද්ද?

විශේෂයෙන්ම ජපානය වැනි රටවල් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය කරනවා. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඖෂධ එම රටවලට යැවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපි දැනට සැලසුම් සකස් කරමින් පවතිනවා.

* ඔබ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති හැටියට වැඩ භාර ගත්තට පස්සෙ දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීමට ගත් ක්‍රියාමාර්ග මොනවද?

විශේෂයෙන්ම අපි පාසල්වල ටිකිරි ඔසු උයන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. එය රටේ සෑම පාසලකම ආරම්භ කළ හැකියි. ඕනෑම විද්‍යාලයක ඔසු උයනක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළොත් ඒ සඳහා රුපියල් 5000 ක මුදලකුත් ලබා දෙනවා. තවත් දෙයක් තමයි නාවින්න පිහිටි ආයුර්වේද රෝහල මගින් කළ සාර්ථක පර්යේෂණයකින් පසුව සුදු කබර රෝගය සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධ වගේම ඊට අවශ්‍ය ප්‍රතිකාරයත් අපි සොයාගෙන තිබෙනවා. මේවා මේ කෙටි කාලය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ලැබූ ඉහළ දියුණුවක්.

* දේශීය වෛද්‍ය ක්‍රමය නමින් සම්භාහන මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. සමහර අවස්ථාවල පොලිසිය වැටලීම් කරනවා. එහි අපචාර සිදුවීම් වූ බවට වාරතාත් පළ වෙනවා. ඔබ මේ පිළිබද යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවද?

දේශීය වගේම විදේශ වලින් එන සංචාරකයන්ට මෙම සම්භාහන මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා දීමක් සිදු වෙනවා. මේ රටේ තිබෙන සම්භාහන මධ්‍යස්ථාන සියල්ලක්ම නීති විරෝධී නැහැ. අපි පොලිසියට උපදෙස් දීල තියෙනවා බලපත් සහිත සම්භාහන මධ්‍යස්ථාන වැටලීම් කරල ඔවුන්ගේ කීර්ති නාමයට කැලලක් ඇති කරල බලපෑම් කරන්න එපා කියලා. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පුහුණු කළ අය එම මධ්‍යස්ථානවලට යොදවලා දේශීය වෛද්‍යවරුන් ගේ උපදෙස් අනුව මේ ක්‍රමය ප්‍රශස්ථ මට්ටමෙන් රට තුළ කරගෙන යාමට අවශ්‍ය පසුබිම අපි සකස් කරනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා