ජනතා අවශ්‍යතා සපුරාලීම ආණ්ඩුවට අභියෝගයක් නොවේ

ජනතා අවශ්‍යතා සපුරාලීම ආණ්ඩුවට අභියෝගයක් නොවේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක
දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

ත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ යුද්ධය නිමාවී වසරකට පමණ පසුවයි. දීර්ඝ ආතති සමයකින් පසු බලයට පත් මේ ආණ්ඩුවේ වයස ද යුද්ධයෙන් අනතුරුව නිදහස ලැබූ රටේ වයසට සමානයි. ආණ්ඩුවට ඇති විශාලම වගකීම පශ්චාත් යුදකාලීන සමාජය ජාතික අභිලාෂයක් තුළ සංවර්ධන අභිප්‍රායන් සපුරා ගැනීම කරා මෙහෙයවීමයි.

එහිදී අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්ති සම්පාදනය,අදාළ ව්‍යුහයන් හා ආයතන අලුතෙන් ගොඩගැනීම, පවතින ආයතන ඉහත අරමුණුවලට ගැලපෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීම ආදී වගකීම් සමුදායක් මේ ආණ්ඩුවට තිබේ. 1948 දී නිදහස ලබා ගැනීමෙන් පසු, තීරණාත්මක යුද්ධයකට මුහුණ දී අලුත් ජාතික රාජ්‍යයක් නිර්මාණය වීමේ කාර්යය හා වගකීම ඒ අතර ප්‍රධානය.

යුද්ධය නිසා රටට හා ජනයාට බොහෝ දෑ අහිමි විය. ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය, නිදහස, පිළිවෙල ආදී දේවල් ගණනාවක් ඒ අතර වෙයි. එවැනි දෑට අවධානය යොමු කිරිමට තිබූ අවකාශය මෙන්ම සම්පත් ද යුද්ධයට යට කළ සමාජයක සිට යළිත් ඒ සියල්ල සමාජය වෙත ලබා දීමේ වගකීම ආණ්ඩුවට පැවරී තිබේ. නිදහස් රටක නිදහස් පුරවැසියෝ බොහෝ දේ බලාපොරොත්තු වෙති.

එබැවින් එවැනි සමාජයක් සමඟ ගනුදෙනු කිරීමම අභියෝගයකි. යුද්ධයක් තිබියදී පැවැති ප්‍රමුඛතාවන්ට වඩා වෙනස් ප්‍රමුඛතා මේ නිදහස් සමාජයට තිබේ. ඒ ප්‍රමුඛතා ඔස්සේ විවිධ අවශ්‍යතා ඉල්ලීම් ඉදිරිපත් වෙයි. එවිට ඇයි දුන්න දේවල් මදි ද? කියා ඇසීමෙන් පලක් නැත. මහා මර්දනයකට හා පීඩනයකට යටව ජීවත්ව සිටි මිනිසුන් ඉන් නිදහස් වූ පසු එවැනි ඉල්ලීම් ඉදිරිපත් වීම ස්වභාවිකය.

හිට්ලර්ගෙන් ආඥාදායක පාලනයෙන් ඉක්බිති ආර්ථික - දේශපාලන හා සමාජයීය වශයෙන් මතු වූ ප්‍රමුඛතා හා ඉල්ලීම් ද මෙපරිදිය. මෙවැනි සමාජයක ජනයා වෙතින් මතුවන ප්‍රශ්නයක් මේ යුද්ධය ඉවරයි අනෙක් දේවල් ඉක්මන් කරන්නේ නැත්තේ ඇයි? යන්නය. යුද්ධය නිමා කිරිම අමතක නොකළ යුතු කාරණයක් වුවද එය අමතක කර වෙනත් ප්‍රමුඛතා මතු කරනු දැකිය හැකිය. එය අස්වාභාවික තත්ත්වයක් නොවේ. ලැබුණ දේ ලැබුණා අලුත් දේවල් ද ලැබිය යුතුය යන්න ජනයාගේ අපේක්‍ෂාවයි.

2010 අප්‍රේල් මස බලයට පත් මේ ආණ්ඩුවට යුද්ධය තිබියදී මුහුණ දුන්නාටත් වැඩි අභියෝගයක් එම ජනතා අපේක්‍ෂා හා අවශ්‍යතා ඔස්සේ ඇතිවී තිබේ. යුද වකවානුවකදී ආණ්ඩුවක කාර්යය ලෙහෙසි වුවද යුද්ධයට පසු ජන සමාජයේ වුවමනා භයානකය. එම වුවමනාකම් සපුරාලීම ආණ්ඩුවකට පහසු අභියෝගයක් නොවේ. ඒ දුෂ්කර අභියෝගයට මේ ආණ්ඩුවට ද මුහුණ දීමට සිදුව ඇත.

යුද්ධයෙන් පසු ජන සමාජය අපේක්‍ෂා කරන්නා වූ යටිතල පහසුකම් නැංවීම, සමාජ - දේශපාලන ආර්ථික අපේක්‍ෂාවන් සපුරාලීම දේශපාලන ව්‍යාපාරයකට පැවරී ඇති ප්‍රමුඛ කාර්යයන් වේ. ජන සමාජය තුළ ඇති එකී අපේක්‍ෂාවන් විනාශ නොකරමින් ඒවා යථාර්ථයක් බවට පත් කිරීම මේ ආණ්ඩුව හමුවේ ඇති බරපතළ අභියෝගයකි. එහිදී 2010 දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට නොගිය බවක් ද පෙනෙන්නට ඇත.

2010 දී සන්ධාන ආණ්ඩුව බලයට පත්වන විට 2005 දී ජනතාව විසින් පත්කළා වූ නායකත්වයද ජනතා අනුමැතිය ලැබූ මහින්ද චින්තන වැඩපිළිවෙළ ද තිබිණි. 2010 ජනවාරි මස යළිත් වරක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය හා එම වැඩපිළිවෙළට ජනතා අනුමැතිය ලැබී තිබිණි. එසේ අනුමැතිය ලද ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වූ දේශපාලන ව්‍යාපාරයටය.

2010 දී සන්ධාන ආණ්ඩුව බලයට පත්වන විට එම දේශපාලන ව්‍යාපාරය ඉදිරිපිට අවධි දෙකක් විය. පළමුවැන්න යුද සමයයි. දෙවැන්න පශ්චාත් යුදසමයයි. දැන් යුද්ධය අවසන්ව ඇති නිසා යුද කාලයේ සිතුවාට වඩා වෙනස් ධාරාවක් ඔස්සේ පාර්ලිමේන්තු විධායක ආකෘතියක් නිර්මාණය කිරීම අවශ්‍යයය. ගත වූ දෙවසර තුළ සන්ධාන ආණ්ඩුවේ ගමන්මඟ දෙස හැරී බැලීමේදී පෙනෙන්නේ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආණ්ඩුව ගත් තීන්දු තීරණ ජනප්‍රියවූයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහා බවයි.

සමාජය ආර්ථික වශයෙන් ගැඹුරින් දියුණු කරන අතර ජනතාවාදී වීමද අවශ්‍යයය. ජනතා ආකර්ෂණයක්ද තිබිය යුතු ය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සෙසු අමාත්‍යංශ ද සම්බන්ධීකරණය කරමින් යම් යම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත. දිවිනැඟුම ජාතික ව්‍යාපාරය, එක ගමකට එක වැඩක්, වැඩසටහන, ගමනැගුම, මඟනැඟුම ආදී වැඩසටහන් හා ව්‍යාපෘති මඟින් රටේ අතිශයින් බහුතර ජනයා ඉලක්ක කෙරිණි. මේ වැඩපිළිවෙළවලට වැඩි ප්‍රසිද්ධියක්ද ලැබී ඇත. ඉහළ නිලධාරී තන්ත්‍රය හා බිම්මට්ටම අතර ගොඩනැෙඟන සම්බන්ධීකරණයද මෙවැනි ව්‍යාපෘතිවල සාර්ථකත්වයට බලපායි.

මේ සියල්ල තුළ එක්තරා අන්දමක දේශපාලන අභියෝගයක් ජාත්‍යන්තර වශයෙන් මතු විය. පසු ගිය කාලය මුළුල්ලේ අප අලුත් රටක් ලෙස නැඟී සිටීමට වෙරදරන සෑම අවස්ථාවකම රටට නායකත්වයට ආණ්ඩුවට එරෙහි බරපතළ විරෝධයක් වැපිරීමට බලවත් රටවල් ක්‍රියා කළ බව පෙණින. යුද්ධයේ අවසන් කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියමින් චෝදනා එල්ල කළේය.

එම ක්‍රියාමාර්ග ඔස්සේ ඇඟලුම් කර්මාන්තයට බලපෑම් කිරීමට GSP+ සහනය නතරකරන ලදී. ජිනීවා හිදී රටට එරෙහිව සම්මත කළ යෝජනාවද එවැන්නකි. රටේ ඉදිරි ගමනට බාධා කරන අතර එල්. ටී. ටී. ඊ. ය යළිත් නියමින් හා අනියමින් උදව් කිරීම මේ ප්‍රයත්නයන්හි අරමුණ බව පැහැදිළිය. එහිදී ජාත්‍යන්තර බලවේග මෙන්ම ඩයස්පෝරාවද පෙළගැසී ඇත. ශ්‍රී ලංකාව හරහා ආසියානු කලාපයට මැදිහත් වීමට ලෝක බලවතුන්ට ඒ තුළ ඇති වුවමනාවද මේ ක්‍රියාමාර්ග තුළින් පැහැදිළි වෙයි.

ආණ්ඩුව හමුවේ ඇති බාහිර අභියෝග එසේ වනවිට, අභ්‍යන්තර වශයෙන්ද යම් ගැටලුකාරීත්වයන් විසඳා ගැනීමට සිදුවී ඇත. ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ යම් යම් ක්‍රියා මාර්ග ජාවාරම්, ඝාතන, දූෂණ, එකම පක්‍ෂයේ ගැටුම් ආදී කාරණා නිසා අනවශ්‍ය නොසන්සුන්තා ප්‍රාදේශීයව මතුවනු දැකිය හැකි විය. එවැනි අවස්ථාවල සුළු සිද්ධීන් දඩමීමා කරගනිමින් ජාත්‍යන්තර බලවේග පවා මැදිහත් වීමට මාන බලනු පෙනෙන්නට ඇත.

එබැවින්, අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ගෙන් මතුවන නොසන්සුන්තා නිවැරැදි ව හඳුනා ගනිමින් එම ගැටලු නිසි ලෙස විසඳාගැනිමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. එහිදී අභ්‍යන්තර ප්‍රවේසම මෙන්ම ජාතිකවාදී විනයක් තිබීම බෙහෙවින් වැදගත්ය. දේශපාලන පරිපාලන සිවිල් සමාජ ආදී වශයෙන් ජාතිකවාදී විනයක් තිබීම පිළිබඳ කාරණය අවධාරණය විය යුතුය. එය වඩා වැදගත් වන්නේ රටට එරෙහිව විදේශීය අභියෝගද එල්ල වී ඇති පසුබිමකය.

මෙවැනි අභියෝගවලට මුහුණදීමේදී අංක එකේ අවශ්‍යතාව ලෙස මා හඳුනා ගත්තේ රටේ ආර්ථික සංවර්ධනයයි. එය ඉහත සඳහන් කළ සමාජ ස්ථර තුනෙහිම සැළකිල්ලට ලක්විය යුතුය. දෙවැන්න නම් පරිපාලන සමාජයීය මනෝභාවයයි. හුදු තාක්‍ෂණික හෝ නිලධාරී වගකීමක් ලෙස නොව රටේ වගකීමක් ලෙස භාර ගනිමින් මෙහිදී එය ක්‍රියාත්මක විය යුතුය. රටේ ආර්ථික සංවර්ධනය සඳහා පරිපාලන හයිය එක්වීමද සිවිල් සමාජය ලෙස ජනයා නොයෙක් භේද අමතක කර රට ගතයුත්තේ කොතැනටද යන්න තේරුම් ගිනිමින් ක්‍රියාත්මක විමද බෙහෙවින් වැදගත්ය. මෙහිදී ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එකට නැඟී සිටිය යුතුය.

දේශපාලන - ආර්ථික - සමාජ යන කාරණා සම්බන්ධ කරමින් රට ආර්ථික සාංවර්ධනය කරා යොමු කිරීමේදී සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව, මානුෂවාදී භාවිතාව, ජාතික විනයවාදී භාවිතාව යන සෑම දෙයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුය. රටක් සාමකාමී හා ශක්තිමත් රාජ්‍ය සිතියමට ඇතුළත් වීමට වෑයම් කරන විට එය නතර කිරීම සඳහා බලවත් රටවල් කරන්නේ අලුත් අර්බුද ඇති කිරීමයි. ඒවා ජය ගනිමින් ශක්තිමත් ලෝක රාජ්‍ය සිතියමට ඇතුළත් වීමට කැමැති ජාතියක් ලෙස අප පෙරට යා යුතුය. ඒ ඉලක්කය වෙත රට ගෙන යාම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන වගකීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා