සමෘද්ධි සහනාධාරය 33%කින් ඉහළට

සමෘද්ධි සහනාධාරය 33%කින් ඉහළට

* සහනාධාරය කාණ්ඩ තුනක් යටතේ වහා ක්‍රියාත්මකයි

* සමෘද්ධිලාභීන්ට බැංකු ගිණුමකින් ප්‍රතිලාභ

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය තීරණය කරයි.

පසුගිය අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සියයට 33 ක ප්‍රතිශතයකින් ඉහළ යන මේ සමෘද්ධි සහනාධාරය කාණ්ඩ තුනක් යටතේ ලබා දෙන අතර එය මේ මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දීය.

කාණ්ඩ තුනක් යටතේ පිරිනමන මෙම සහනාධාරය මේ දක්වා රුපියල් 250, 350, 375, 415, 525, 615 ආදී වශයෙන් පිරිනැමූ කාණ්ඩය රුපියල් 750 දක්වා ද රුපියල් 900 ක් ලබා දුන් සහනාධාරය රුපියල් 1200 දක්වා ද ඉහළ නැංවීමට තීරණය කළ බව කී ඇමැතිවරයා රුපියල් 1500 සහනාධාරය එලෙසින්ම ලබාදෙන බව ද සඳහන් කළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ මේ සහනාධාරයට අමතරව සවිබල ගැන්වූ සමෘද්ධි පවුල් සඳහා රක්ෂණය හා අනෙකුත් පහසුකම් වෙනුවෙන් ලබාදෙන රුපියල් 210 ක ආධාරය එලෙසම ලබාදෙන බවයි.

1583961 ක් වන ශ්‍රී ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් රජය විසින් මාස 9 කට රුපියල් මිලියන 42648 ක් වැය කරන බව සිහිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා සමෘද්ධි ප්‍රතිලාභය ඉහළ නැංවීමත් සමඟ එම මුදලට අතිරේකව රුපියල් මිලියන 3751 ක් එකතු වන බවද පෙන්වා දුන්නේය.

මෙහි විශේෂත්වය වන්නේ සියලුම සමෘද්ධි සහනාධාරලාභීන් සඳහා බැංකු ගිණුමක් ආරම්භ කරමින් ඒ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එම බැංකු ගිණුම වෙත ප්‍රතිලාභය ලබාදීමට පියවර ගැනීම බව කී ඇමැතිවරයා ඒ මඟින් ප්‍රතිලාභීන්ට රිසි සේ මුදල් පරිහරණය කළ හැකි බවද කීවේය.

ඊට අමතරව මීට පෙර පැවැති ක්‍රමවේදයේදී විශාල කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා නව ක්‍රමවේදය ඔස්සේ එවැනි විශාල පිරිසක් අවශ්‍ය නොවන බවද ඒ වෙනුවෙන් යොදාගත් පිරිස වෙනත් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැකි බවද පැවසීය.

උතුරු නැඟෙනහිර ඇතුළුව රටේ සෑම ප්‍රදේශයකම අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවද මේ සඳහා උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ වලින් අලුතින් එක්වූ පිරිස 42638 ක් බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 11102 ක මුදලක් රජයට වැයවන බවද කීවේය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සකස්කරන සංගණනයෙන් අනතුරුව සමෘද්ධි ප්‍රතිලාභීන් නිවැරදිව සොයා ගැනීම සඳහා විද්‍යාත්මක පදනමකින් කටයුතු කරන බවය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නිහාල් සෝමවීර, ආර්.ඒ.ඒ.කේ රණවක හා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහත්වරුද සමෘද්ධි කොමසාරිස් ජනරාල් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා