විදුලිය කපන්නේ නෑ

විදුලිය කපන්නේ නෑ

අවුරුදු සමයේ කිසිදු ආකාරයේ විදුලි කප්පාදුවකට ඉඩ නොතබන බව ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලෙකෝ ආයතනයේ කළමනාකාරීත්වය අවධාරණය කරයි.

පටු දේශපාලන අරමුණු ඉදිරියට ගෙනෙමින්, සමස්ත මහජනතාව අපහසුතාවට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ බහුතර සේවකයන් කටයුතු නොකරන බවද ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි කාලයේදී වෘත්තීය කි‍්‍රයාමාර්ග හේතුවෙන් මිනිස් ජන ජීවිතය අඩාල වන පරිදි විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ස්වාභාවික ආපදා තත්ත්වයකදී සිදුවන හානියකදී හැරෙන්නට විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවත්, යම් හෙයකින් ස්වාභාවික ආපදා තත්ත්වයකදී විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් තම ප්‍රදේශයන්ට අදාළ ලංකා විදුලිබල මණ්ඩල හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ඉංජිනේරු කාර්යාල හෝ ඩිපෝ වෙත දැනුම්දෙන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දෙයි.

යම් පාරිභෝගිකයෙකුට එම සේවය ලබාගත නොහැකි අවස්ථාවකදී ලංවිම පාරිභෝගිකයෙක් නම් ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1987 ටත්, ලෙකෝ පාරිභෝගිකයෙක් නම් ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1910 ටත් තම විදුලි සබඳතාවයේ පැනනැගී ඇති ගැටළුව පිළිබඳව දැනුම්දිය හැකි. එසේ නොවන්නේ නම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1901 වෙත එම කරුණු ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.

සියලුම බලාගාර ආශි‍්‍රතව විදුලි උත්පාදන කටයුතු, බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ කටයුතු මෙන්ම දීප ව්‍යාප්ත හදිසි බිඳවැටීම් ඒකක, මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා සුපුරුදු පරිදි තම සේවාවන් අඛණ්ඩව, ඉදිරියටත් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම මූලික කරගත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා