බොරු අතුරුදන්වීම් මවාපාමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ප්‍රසිද්ධිය ලබාගත්තා

බොරු අතුරුදන්වීම් මවාපාමින් පෙරටුගාමී
සමාජවාදී පක්‍ෂය ප්‍රසිද්ධිය ලබාගත්තා

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල දෙදෙනා අතුරුදන් වූ බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස තමන්ගේ පළමු සම්මේලනයට විශාල ප්‍රසිද්ධියක් ලබා ගත් බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.

මේ පක්ෂය ජන අරගල ව්‍යාපාරය නමින් තම පළමු සම්මේලනය පවත්වන විටත් ලලිත් හා කූගන් නැමැති දෙදෙනා අතුරුදන් බව පවසමින් තම ජන අරගල ව්‍යාපාරයට විශාල ප්‍රසිද්ධියක් ලබා ගත් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙවරත් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල දෙදෙනා අතුරුදන් බව පවසමින් පෙරටුගාමි පක්ෂය මිනිසුන් 1000 ක් 1500 ක් පමණ තම සම්මේලනයට ගෙන්වා ගත් බවත් හෙතෙම කියයි.

මේ දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන බව කියන දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට තිබෙන සියයට 5 ක ඡන්ද ප්‍රතිශතය දෙකට බෙදුණු විට ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් බවත් පවසයි.

මේ අය අතුරුදන් කරවීමට ආණ්ඩුවට කිසිම හේතුවක් නැතැයි පවසන ඇමැතිවරයා ආණ්ඩුවට තිබෙන හොදම වාසිය මේ අවස්ථාවේ නිශ්ශබ්දව සිටීම යැයි ද කියයි.

එදා 87, 88 කාලවලදී මහා සමූල ඝාතනවලින් පසු ජනතා විමුක්ති පෙරමුණේ අදෘෂ්‍යමානව සිටි සහෝදරවරු රැසක් ඝාතනය කර සෝමවංශලා නායකත්වය ගත් බවත් අද පක්ෂයේ ලේකම්වරු පවා එතැනට පැමිණියේ තමන්ගේ සහෝදරවරු මරා දමා බවත් පෙන්වා දෙන දිසානායක මහතා විජේවීර වුවත් පක්ෂයේ නායකත්වය අතට ගත්තේ මුලින් සිටි සහෝදරවරු මරා දැමීමෙන් අනතුරුව බවත් කියයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ ම ඇත්තේ තමන්ට එරෙහි තමන්ගේ පාක්ෂිකයන්වම මරාගෙන පැමිණි සංස්කෘතියක් බවත් ඒ මහතා සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා