මගේ පැහැර ගැනීම පිටුපස ජවිපෙ නිසැකවම සිටියා

මගේ පැහැර ගැනීම පිටුපස ජවිපෙ නිසැකවම සිටියා

දිමුතු ආටිගල කියයි

තමාගේ පැහැර ගැනීම පිටුපස ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම සිටි බව පසුගියදා පැහැර ගැනීමකට ලක්වූ බව කියන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ලේකම් දිමුතු ආටිගල මෙනෙවිය ප්‍රකාශ කර සිටියාය.

දිමුතු ආටිගල මෙනෙවිය පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ මාදිවෙල එම පක්‍ෂ කාර්යාල ප්‍රදේශයේදී වාහනයකින් ගෙන ගොස් අතහැර දමා තිබේ. ඉන් අනතුරුව ඇය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අවස්ථාවේ ඇය මාධ්‍ය වෙත තමාට සිදුවූ සිද්ධිය පිළිබඳ කරුණු දක්වමින් එසේ කියා සිටියාය.

දිමුතු ආටිගල මෙනෙවිය පැහැර ගැනීමට ලක්වී ඇත්තේ පසුගිය 6 වැනිදාය. එදින රාත්‍රියේ ඇය දෙමහල් ගොඩනැගිල්ලකට ගෙන ගොස් දෑස්, දෙපා, අත් බැඳ දමා ප්‍රශ්න කිරීම් කළ බව ද පැවසුවාය. එහිදී ඇයට පැහැර ගත් පුද්ගලයන් කිසිදු හිරිහැරයක් සිදු කර නොමැත.

දිමුතු ආටිගල මෙනෙවිය විශේෂයෙන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීම සම්බන්ධව ප්‍රශ්න කළ බවයි. “ඇයි ඔබලා ජ. වි. පෙ. න් ඉවත් වුණේ එසේ ඉවත් වූ නිසා නේද, මේ සෑම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න සිදුවුණේ” යනුවෙන් පැහැර ගත් පුද්ගලයන් ප්‍රශ්න කළ බව ඇය කියා සිටියාය.

පැහැරගෙන ගිය කවුරුන් හෝ සමඟ ජ. වි. පෙ. යැයි ස්ථිරවම විශ්වාස කළ හැකි දෙදෙනෙකු සිටි බව ද ඇය අවධාරණය කරයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඇය සහ කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් ආරක්‍ෂක අංශ ලෙස රඟපෑවාද යන සැකයක් ඇති වී තිබෙන බව ද ආටිගල මෙනෙවිය කියා සිටියාය.

ආටිගල මෙනෙවිය නිදහස් වී පැමිණීමෙන් පසු ඇය පොලිසිය වෙත බාර වී හෝ ප්‍රකාශයක් කර නොතිබුණි. ඇය නිදහස් වී එන විටත් මාධ්‍යවේදීන් කැඳවා එම ස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවකට සූදානම් කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා