පාසල් විස්සයි-20 ක්‍රිකට් ගුණ-අගුණ ගැන අවසන් තීන්දුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන්

පාසල් විස්සයි-20 ක්‍රිකට් ගුණ-අගුණ ගැන
අවසන් තීන්දුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් යොදා ගනිමින් විස්සයි-20 ක්‍රිකට් තරගාවලි ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන අවසන් තීරණය, ජාතික ක්‍රීඩා වෙද්‍ය ආයතනයේ සහයෝගය මත ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඒ අනුව ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් හා පාසල් ක්‍රිකට් සංගම්වල ප්‍රධානීන් ඉදිරි සතියේ කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂක රෝහණ කරුණාරත්න මහතා පැවැසීය.

පාසල් ක්‍රිකට් කී‍්‍රඩාවට විස්සයි-20 ක්‍රිකට් යෝග්‍ය නොවන හෙයින් එම තරග නවතා දමන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති හෙයින් එහි විද්‍යාත්මක පසුබිම සෙවීමට පියවර ගත් බව කරුණාරත්න මහතා පැවැසීය.

පාසල් ක්‍රීඩකයන්ට විස්සයි-20 ක්‍රීඩා රටාව දරා ගැනීමට නොහැකි බව හෝ විස්සයි-20 ක්‍රිකට් තුළින් ක්‍රීඩකයාගේ අනාගත දියුණුවට කුමන හෝ බාධාවක් ඇතිවන බවට නිගමනය වුවහොත් පාසල් ක්‍රිකට් තරග බිමෙන් විස්සයි- 20 තරග රටාව නවතා දමන බවද පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න මහතා පැවැසීය.

පසුගිය සතියේදී අන්තර් පාසල් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය පැවැති අතර එහිදී ත්‍රිත්ව විදුහල සූරතාව දිනා ගත්තේය. තරගාවලිය පැවැත්වෙන අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය ලිපියක් මගින් පාසල් ක්‍රිකට් සංගමයට හා අධ්‍යාපන අමාත්‍යාංහයට දන්වා සිටියේ විස්සයි –20 ක්‍රිකට් තරග පාසල් ක්‍රීඩකයන්ට කිසිසේත්ම උචිත නොවන බවය.

දෙදින තරග හා ඕවර් 50 තරගවලින් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තාක්ෂණික ක්‍රීඩා රටාව ගොඩනැගුණද විස්සයි-20 ක්‍රිකට්වලින් එවැන්නක් සිදු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මතය වී තිබේ.

එයට අමතරව පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල දෙදින තරගවලදී වේගපන්දු යවන්නන්ට තරගයේ මුල් ඕවරයක් යැවීම අනිවාර්ය කිරීමේ නීතියක් ද පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ඇතැම් අවස්ථාවලදී දගපන්දු යවන්නන්ගෙන් පාසල් ක්‍රිකට් තරග ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වේගපන්දු යවන්නන් බිහිවීමේ ප්‍රවණතාව අඩුවිය හැකි බවට මතයක් ගොඩනැගී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා