ටෙනිස් ලොව මුල් තැන ඇසරෙන්කාට

ටෙනිස් ලොව මුල් තැන ඇසරෙන්කාට

අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා සමත්වූවාය.

ලෝක ප්‍රකට සුපිරි ක්‍රීඩිකාවන් රැසක් පසුපසට ඇද දමා පෙරමුණ ගැනීමට ඇසරෙන්කාට ඉවහල් වූයේ පසුගිය ජනවාරියේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් සූරතාව දිනා ගැනීමය.

ඇයට එම තරගාවලියේ අවසන් මහා තරගයේදී පරාජය වූයේ රුසියාවේ මාරියා ෂරපෝවාය. එතෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයට සුදුසුකම් නොලැබූ 22 හැවිරිදි ඇසරෙන්කා ප්‍රථම අවතීර්ණයේදීම සූරතාව හිමි කර ගැනීම විශේෂ සිදුවීමකි.

එමෙන්ම ග්‍රෑන්ඩ් ස්ලැම් කාන්තා ඒකල ටෙනිස් කිරුළක් ජයගත් පළමු බෙලරුසියානු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාස ගත විය. ඊට පෙර 2007 වසරේදී අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල සූරතාව මැක්ස් මිර්නි හා එක්ව ජයගත් ඇසරෙන්කා 2008 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී බොබ් බ්‍රවුන් සමග මිශ්‍ර යුගල සූරතාව දිනා ගත්තාය.

ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය ෂරපෝවාට හිමිවී ඇති අතර චෙක් රාජ්‍යයේ පෙට්‍රා ක්විටෝවා තුන්වැනි ස්ථානයේ පසුවන්නීය. පසුගිය වසර පුරාවටම පෙරමුණේ පසුවූ ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකිට හිමිවී ඇත්තේ හයවැනි ස්ථානයයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා