ප්‍රේමකුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවෙන් පිටුවහල්

ප්‍රේමකුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවෙන් පිටුවහල්

නම් දෙකකින් පෙනී සිටි ඕස්ට්‍රේලියානු වැසියෙක්

නම් දෙකකින් මෙරට රැඳී සිටි ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන නොයෙල් මුදලිගේ නොහොත් ප්‍රේම්කුමාර් ගුණරත්නම් නැමැත්තා ඊයේ (10) ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබේ. 

ක්වාලාලාම්පුර් බලා පිටත් වූ යූ.එල්.314 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔහු පිටුවහල් කොට යවා ඇත. නොයෙල් මුදලිගේ නමින් මොහු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති අතර කුමාර් මහත්තයා නමින් ද ප්‍රසිද්ධව සිට ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත.

රජයට ආරක්ෂක අංශ වලට චෝදනා කරමින් නොයෙක් දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටියේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නැතහොත් කුමාර මහත්තයා අතුරුදහන් වී ඇති බවය. කිරිබත්ගොඩ ගැමුණු මාවතේ අංක 291 දරන ලිපිනයේ පදිංචිව සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් නැමැත්තා අතුරුදන් වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.

අතුරුදන්ව සිටි බව කියන මොහු පෙරේදා (9 දා) රාත්‍රි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇති අතර ඔහුව පැහැරගත් පිරිස් විසින් දෙමටගොඩ ප්‍රදේශයට තමන්ව ගෙනවිත් දැමූ බව ප්‍රේමකුමාර් නැමැත්තා පොලිසියට ප්‍රකාශ කර තිබේ. පසුව පොලිසිය විසින් මොහුව ආරක්ෂා සහිතව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගෙන ගිය බවත් ඔහු ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

කිරිබත්ගොඩ ගැමුණු මාවතේ අංක 291 දරන ලිපිනයේ පදිංචිව සිටි නොයෙල් මුදලිගේ නම් ඔස්ට්‍රේලියානු ජාතිකයා අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් විමසීමක් කර ඇත.

මෙරටේ පදිංචි ප්‍රේමකුමාර් ගුණරත්නම් යන පුද්ගලයකු පිළිබඳ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් ද පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවත් මේ පුද්ගලයන් දෙදෙනාම එක් අයෙකු වීම උභතෝකෝටිකයක් බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් දිගින් දිගටම රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කළ අතර එය අසත්‍ය චෝදනාවක් බව මේ වන විට අනාවරණය වී ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (10) උදෑසන 7.33 ට පමණ නොයෙල් මුදලිගේ නැමැත්තා ඔස්ට්‍රේලියාව බලා පිටත් කර යැවූ බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවසීය. මොහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා විසා බලපත්‍රය නොමැති බවත් එය කල් ඉකුත් වී ඇති බවත් අනාවරණය වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා