අතුරුදන්ව සිටි දිමුතු ආටිගල මාදිවෙල දමා ගිහින්

අතුරුදන්ව සිටි දිමුතු ආටිගල මාදිවෙල දමා ගිහින්

අතුරුදහන් වූ බව කියන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කාන්තා අංශයේ නායිකා දිමුතු ආටිගල මෙනවිය ඊයේ (10) උදෑසන මාදිවෙල ප්‍රදේශයට නාඳුනන පිරිසක් විසින් ගෙනවිත් දමා ගොස් තිබේ.

ඉකුත් 06 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ඇය නාඳුනන පිරිසක් විසින් පැහැරගත් බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට වහාම පියවර ගත්තේය.

දින දෙකක් අතුරුදන්ව සිටි දිමුතු ආටිගල මෙනවිය ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථයකින් තමා මාදිවෙල ප්‍රදේශයට ගෙනවිත් දැමූ පිරිස ත්‍රිරෝද රථයකින් පක්ෂ මූලස්ථානයට යෑම සඳහා මුදල්ද ලබා දුන් බවයි.

පැහැරගැනීමට ලක් වූ බව කියන ආටිගල මෙනවිය රෝහල් ගත වීමට බලාපොරොත්තු වන බව පැවසේ. මේ පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මේවන විට පුද්ගලයන්ගෙන් සටහන් ලබා ගෙන ඇති අතර විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා