සමඟියෙන් ජය මඟට යමු

සමඟියෙන් ජය මඟට යමු

ටී. බී. ඒකනායක

සංස්කෘතික හා කලා කටයුතු ඇමැති

 සිංහල, හින්දු අවුරුදු සංස්කෘතික මංගල්‍යයෙන් පසු රට ඉදිරියට ගමන් කළ යුතු ආකාරය හා කලාකරුවන් ගේ හා සංස්කෘතික අංශයේ පුනර්ජීවය සඳහා රජය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ ඇමැති ටී. බී. ඒකනායක මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

l මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම සිදුකළේ ජනතාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රටට එරෙහි ප්‍රශ්න රැසකට මුහුණ දුන් අවස්ථාවකයි. මේ තත්ත්වය ගැන ඔබට ඇත්තේ මොන විදිහේ මතයක්ද?

ජනාධිපතිතුමා හා රජය එක්ව ජාත්‍යන්තර ප්‍රජාව සහ රාජ්‍ය නායකයින්, මානව හිමිකම් සංවිධාන මනා ලෙස දැනුවත් කළා. මේ රටේ දශක තුනක් තිස්සේ පැවති ලොව දරුණුතම ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කොට සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන් අතර ජාතික සමඟිය ඇති කළා. ඒ වගේම දේශීයත්වයට මුල් තැන දෙමින් එය ශක්තිමත් කොට උද්ධමනය පාලනය කරන්න කටයුතු කළා. රටේ ඒක පුද්ගල ආදායම වැඩි කරමින්, ජාතික නිෂ්පාදනය වැඩි කරමින් ගෙන ගිය මනා කළමනාකරණය නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැටලුවකින් තොරව සංස්කෘතික උළෙලක් ලෙස සමරන්න පුළුවන් වුණා.

l ජනතාවගේ චෝදනාවක් තියෙනවා වයෝවෘද්ධ කලාකරුවන් ඇගයීමට ලක්වන්නේ ඉතාමත් මහළුවියට පත්වුණාට පසුව කියා. මේ තත්ත්වය වෙනස් වන්නේ නැද්ද?

ශ්‍රී ලංකාවේ “කලාකෙත අස්වැද්දීමේ” මහින්ද චින්තන ක්‍රියාවලිය වෙන ම පරිච්ඡේදයක් ලෙස සටහන් කරමින් මුල්ලකට දමා තිබූ කලාකරුවන් ඒකරාශී කරන්න අපට හැකි වුණා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කිරීම ජනාධිපතිතුමාගේත්, අපගේත් වගකීමක්.

එය ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත් වන ක්‍රියාවලියක්. ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත ක්ෂේත්‍රවල මෙන්ම සිව්සැට කලාවේම නිරතවන කලාකරුවන් තරුණ වියේ දී ඉතා ශක්තිමත් මූල්‍යමය වශයෙන් යමක් හරිහම්බ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට අප පිහිටවිය යුත්තේ ඔවුන්ගේ භූමිකාව තවදුරටත් කරගෙන යාමට නොහැකි වූ විටයි.

රජයේ වගකීම ඔවුන් ගැන සොයා බලමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමයි. නිදසුනක් ලෙස ටවර්හෝල් ශිල්පීන් වෙනුවෙන් අප කරනු ලබන කාර්ය භාරය ගෙනහැර දැක්විය හැකියි. මහින්ද චින්තනය යටතේ මෙවර අයවැයෙන් ද කලාකරුවන් වෙනුවෙන් සුවිශේෂී යෝජනාවන් ඇතුළත් කොට තිබෙනවා.

l නෙළුම් පොකුණ වැනි යෝධ ව්‍යාපෘතියක් අද ඔබ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙහි දොරටු විවෘත ජනප්‍රිය කලාකරුවන්ට පමණ ද? අංකුර කලාකරුවන්ට තැනක් නැද්ද?

නෙළුම් පොකුණ චීන -ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සංකේතයක් ලෙස සියයට 100 ක් ම ආධාර මත ඉදිකෙරුණු දෙයක්. මේ රඟහල ඉතා හොඳ කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා අධික මුදලක් වැය වෙනවා. මෙම රඟහල ලබාදීමේ දී ජනප්‍රිය ද ජනප්‍රිය නැද්ද යන්න කියා වගකීමක් නෑ. ඒ සඳහා අදාළ මුදල අයකිරීම පමණයි සිදු කරනු ලබන්නේ.

පසුගිය 27 වැනිදා පැවති ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් මෙම රඟහල නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා ක්‍රියා කළා.

මෙහි සංගීත, නාට්‍ය ඇතුළු විවිධ වැඩසටහන් කලාකරුවන්ට ඉදිරිපත් කළ හැකියි. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍ය මෙහි ප්‍රදර්ශනය කළා. නෙළුම් පොකුණ රංග ශාලාව රාජ්‍ය ආරක්‍ෂක, නාගරික සංවර්ධන හා සංස්කෘකිත යන අමාත්‍යාංශ යටතේයි ඒකාබද්ධව පාලනය කරනු ලබන්නේ.

ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ඉදිරිපත් කිරීමට දකුණු ආසියාවේ ඇති දියුණුම තාක්ෂණය ඇති රංග ශාලාවක් ලෙස නෙළුම් පොකුණ අපේ කලාකරුවන්ට දායාද කොට තිබෙනවා.

l අද පුවත්පතක් ගත්තහම දිනෙන් දින අපරාධ වැඩි බව පෙනී යනවා. එහි ප්‍රධාන චෝදනාව රටේ සංස්කෘතියටයි. පාසල් ළමුන් සාහිත්‍යයෙන් ඈත් වෙලා. ටියුෂන් යන ළමයා කවිය, ගීතය රසවිඳින්න දන්නේ නෑ. සංස්කෘතිය පිරිහිලා කියලා වැඩිහිටියෝ කියනවා. ඔබගේ අදහස?

අද මතුව ඇති අධ්‍යාපන තරගය වඩාත් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේයි. සාක්ෂරතාවය අතින් අපි ඉන්නේ ඉතා ඉහළ තැනක. මේ තරඟකාරී බව නිසා තමයි එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. දෙමාපියන් පාසල්වලින් පමණක් නොව උපකාරක පංතිවල සහයෙනුත් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයකට ගෙන එන්න වෙර දරනවා. පෞද්ගලික පංති පවත්වාගෙන යාම රජයකට නැවැත්විය නොහැකියි.

එසේම ඔබ ඇසූ රස වින්දනය කියන විෂයයේදී එය විෂය පථයට අනුගතව තිබෙනවා. ඒ සඳහා පුස්තකාල, පොත්පත් ඇතුළු දෑ පරිහරණයට අවකාශ ලැබී තිබෙනවා. නමුත් මේවා දරුවන් පරිහරණය කරනවාද යන්න ගැටලුවක්. ඒ සඳහා දෙමාපියන්, ගුරුවරුන් දරුවන්ව පෙළගැස්විය යුතුයි.

ගීතය, නාට්‍ය, චිත්‍රපට, හොඳ පොත්පත්, සාහිත්‍ය කෘති පරිශීලනයට දරුවන් යොමු කළ යුතුයි. ඒ සඳහා ගුරුවරුන්ට, දෙමාපියන්ට හොඳ රසවින්දනයක් තිබිය යුතුයි. දෙමාපියන් පොත්පත් කියවනවා නම්, නාට්‍ය චිත්‍රපට බලනවා නම්, සාහිත්‍ය කෘති පරිශීලනය කරනවා නම්, අඩු තරමින් දවසේ පත්තර ටිකවත් කියවනවා නම් දරුවෝ ඒ සඳහා යොමු වෙනවා. මේ ආදර්ශය ගෙදරින්. පාසලින් දරුවන්ට ලබාදිය යුතුයි.

අද පුවත්පතක් බැලුවොත්, රූපවාහිනිය බැලුවොත් පෞද්ගලික ආරවුල්, ඉඩම් ආරවුල් නිසා අපරාධ වැඩි වී තිබෙනවා. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවෙයි. ලෝකයේ කොහෙත් ඒවා සිදුවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය පාලනය සඳහා ආරක්‍ෂක අංශවලට ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒවා තදින් ක්‍රියාත්මක කරන ලෙසට අවශ්‍ය උපදෙස් දී තිබියදී ඒවා ක්‍රියාත්මක කිරීම ආරක්‍ෂක අංශවල වගකීමක්. ආරක්‍ෂක ලේකම්තුමාත් මේ පිළිබඳව දැඩි වගකීමකින් යුතුව ක්‍රියා කරනවා. සමහර අපරාධ කළ අය පැය 24 ක් ඇතුළත අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කොට තිබෙනවා. යුද්ධයෙන් ගිනිගත් රට කෙටි කාලයක් තුළදී සාමය ඇතිකොට සෑම ජන කොටසකට ම සාමයෙන් සමඟියෙන් යුතුව ජීවත්වීමට අවැසි පරිසරයක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පරිසරය තුළ ඇති වන සමහර ගැටුම් අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් අප අමාත්‍යාංශය මගින් දියත් කොට තිබෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම දියත් කොට ඇති “සෙනෙහස” වැනි වැඩසටහන් ඊට නිදසුනක්.

ලෝකෙට බිහිවන දරුවා සංවේදී මනුෂ්‍යයකු ලෙස සමාජගත කිරීමට මවගේ කුස තුළදීම දරුවා හුරු පුරුදු කරවීම මේ වැඩසටහනේ අරමුණයි.

ඒ සඳහා මව, පියා දැනුවත් කිරීමත්, ඔවුන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහන් හඳුන්වා දීමත්, ඒවා ක්‍රියාත්මක වීම තුළින් වඩාත් නිර්මාණශීලී මෙන්ම සංවේදී දරුවකු, ලොවට බිහිකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමත් අපේ අරමුණයි.

l ඔබගේ අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් මොනවාද? වත්මන් කලාකරුවන් හා අනාගත පරපුර වෙනුවෙන් මොනවද කරන්නේ?

අපේ අමාත්‍යාංශය මගින් කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අලුතින් ආයතන රාශියක් පිහිටුවමින් සිටිනවා. මාතර, නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, ගාල්ල, පැරෑලිය සුනාමි පර්යේෂණ හා සංස්කෘතික මධ්‍යස්ථානය, කුණ්ඩසාලේ ප්‍රාසාංගික ජාතික කලා නිකේතනය, කලා පොළ, අංගම්පොර ගම්මානය, උතුර නැඟෙනහිර නව සංස්කෘතික මධ්‍යස්ථාන, ජාතික කලා මණ්ඩලය ඊට අනුබද්ධ මණ්ඩල 15 ක් පිහිටුවා තිබෙනවා.

ඊට අමතරව කලාකරු සුබසාධන හා ආධාර වැඩසටහන් තියෙනවා. දැනට අපි රටපුරා සංස්කෘතික මධ්‍යස්ථාන 157 ක් පිහිටුවා තිබෙනවා. අලුතින් තවත් 57 ක් පටන් ගන්නවා. කලා භවන, ජෝන් ද සිල්වා රඟහල අංගසම්පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 480 ක් වෙන්කොට තිබෙනවා. දැනට ගරා වැටී ඇති එල්ෆින්ස්ටන් රඟහල සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරනු ලබනවා.

ජාතක කතා ඇසුරින් නූර්ති නාට්‍ය ගණනාවක් අලුතින් නිෂ්පාදනය කිරීම සඳහා දැනටමත් පෞද්ගලික අංශයෙන් අපි ආධාර ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ සැම දෙයක්ම තුළින් විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිකිරීමට අප බලාපොරොත්තු වෙනවා.

සංවේදී, නිර්මාණශීලී මිනිසෙකු බිහිකිරීම සඳහා මෙවන් වැඩසටහන් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ජනාධිපතිතුමා නොමසුරුව අපට ප්‍රතිපාදන ලබා දෙනවා. ඒවා නිසි ලෙස කළමනාකරණය කොට ගනිමින්, නාස්තිය දූෂණය පිටුදකිමින් වැඩ කළොත් අපට සුභ අනාගතයක් උදාකර ගත හැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා