අලුත් අවුරුද්ද හුදෙක් සැමරුම් උත්සවයක් නොවෙයි

අලුත් අවුරුද්ද හුදෙක් සැමරුම් උත්සවයක් නොවෙයි

මැදගොඩ අභයතිස්ස හිමි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, පැපිලියානේ සුනේත්‍රාදේවී පරිවේනාස්ථානාධිපති

ශ්‍රී ලාංකිකයන්ගේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල, හින්දු අලුත් අවුරුද්දෙහි වැදගත්කම සහ එළැඹුනු නව වසර අර්ථාන්විතව ගත කළ යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, පැපිලියානේ සුනේත්‍රාදේවී පරිවේනාස්ථානාධිපති මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

l වසරක් ගෙවී නව වසරක් උදා වන අලුත් අවුරුද්ද පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

අලුත් අවුරුද්ද පිළිබඳ කතා කිරීමේ දී අපිට චන්ද්‍රමාස ක්‍රමය සහ සූර්යමාස ක්‍රමය හමුවෙනවා. චන්ද්‍ර මාස ක්‍රමයේ දී සඳ ලබන ගෙවෙන වෙලාව අනුවත් සූර්ය මාස ක්‍රමයේ දී සූර්යයා වටා පෘථිවිය වරක් ගමන් කර අවසන් වන අවස්ථාව හැටියට අලුත් අවුරුද්ද සැමරෙනවා. විශේෂයෙන් වසරක් ගෙවී නව වසරක් උදා වන විට ගස්කොළන් නව දළු දා වැඩෙනවා. අලුත් අවුරුද්දක් උදා වීම එවැනි පරිසර වෙනස්වීමක් පමණක් නොව මිනිසුන් ගේ මානසික වශයෙනුත් ගොඩනැඟුණු වැදගත් කාරණාවක්. විශේෂයෙන් වසරක් ගෙවී නව වසරක් උදා වන විට මිනිසුන් ගේ වයසත් අවුරුද්දකින් ගෙවෙන නිසා ඔවුන් ගේ ආකල්පමය වෙනසකුත් සිදු වෙනවා. මේ අනුව අලුත් අවුරුද්දක් උදා වීම යනු අලුත් වීමක් ගලා යන ක්‍රමයේ යම් සන්ධිස්ථානයක්, වෙනස්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

l සිංහල, හින්දු අලුත් අවුරුද්දෙ හි ඇති විශේෂත්වය සහ එය ශශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වන ආකාරය පැහැදිලි කළොත්?

සිංහල, හින්දු අලුත් අවුරුද්ද ශශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ යන ජනකොටස් දෙකෙහි ම ජාතික උත්සවය ලෙස සැලකෙනවා. ජාති ආගම් භේදයකින් තොරව එකම නැකතකට පිළිවෙළකට වැඩ කටයුතු ආරම්භ කරන එකම ජාතික උත්සවය වන්නේත් සිංහල හින්දු අලුත් අවුරුද්දයි. විශේෂයෙන් මේ අවුරුදු සැමරුමත් සමඟ මිනිසුන් තුළ තිබෙන නොහොඳ නෝක්කාඩු අමතක කර සාමය, සමඟිය වර්ධනයක් සිදු වෙනවා. බුදු දහමේ පෙන්වා දෙන ආකාරයට යම් කෙනෙක් ඒ මොහොත වෙනස් කරනවා ද එතැන් පටන් අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. 999 දෙනෙකු මරපු අංගුලිමාල ඊළඟ දවසේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස පිළිගන්න පුළුවන් තත්ත්වයට පත් වුණේ කෙනෙකුට අතීතය අමතක කර වර්තමානය තුළ වෙනස් වෙන්න පුළුවන් කියන කාරණාව නිසයි.

ඒ නිසා සිංහල, හින්දු අලුත් අවුරුද්ද හුදෙක් සැමරුමක් ලෙස විනෝද වී අවසන් කරනවාට වඩා ජීවිතවලට යම් වෙනසක්, අලුත් බවක් ළඟා කර ගැනීමයි වැදගත් වන්නේ. ඒ වගේ ම මෙය පුද්ගලයන් ගේ ආර්ථිකමය වශයෙන් මෙන් ම අධ්‍යාපනික වශයෙනුත් නව පිබිදීමක් ඇතිව කටයුතු කරන්න හිතට ගත යුතු අවස්ථාවක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද ජාතියක්, දේශයක් ලෙස ඉදිරියට යාමටත් අලුත් ආරම්භයක් ඇතිකර ගැනීමට හොඳ සංධිස්ථානයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

l සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමඟ බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. යහපත් සමාජයක් උදෙසා එම චාරිත්‍ර වාරිත්‍ර වැදගත් වන්නේ කුමන ආකාරයෙන් ද?

ජාති, ආගම් වශයෙන් බැඳ තිබෙන පවුරු බිඳ එකම ජන කොට්ඨාසයක් ලෙස එකමුතු වෙන්න මෙය හොඳ ම අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. සිංහල අවුරුදු චාරිත්‍ර ගතහොත් සිංහල, දෙමළ දෙගොල්ලන්ට ම තිබෙන්නේ එක ම නැකැත් චාරිත්‍ර. ඒ නිසා මෙය ශ්‍රී ලාංකික ජනතාව ලෙස එකට එකතු වෙන දිනය ලෙසත් හඳුන්වන්න පුළුවන්. අවුරුදු චාරිත්‍ර ගතහොත් ඒ හැම චාරිත්‍රයක ම අර්ථයක් තිබෙනවා. ගම්වල කාන්තාවන් මුලින් ම ගනුදෙනු කරන්නේ තමන්ට දියවර ලබාදෙන ළිඳත් සමඟයි. ඒ තුළින් කළ ගුණ සැළකීමේ ගුණය ප්‍රකට වෙනවා. විශේෂයෙන් වැඩිහිටියන්ට සැලකීම, ඔවුන්ට නමස්කාර කිරීම සිංහල අලුත් අවුරුද්දත් සමඟ බැඳුණු තවත් විශේෂ චාරිත්‍රයක්. ලෝකයේ අනෙකුත් රටවල් ගතහොත් වයස අවුරුදු 16, 17 වෙද්දී ඒ රටවල දරුවන් මවුපියන්ගෙන් වෙන් වෙනවා. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල වැඩිහිටියන් ගේ ජීවිත හරි අවාසනාවන්තයි. වැඩිහිටියන් වෙනුවෙන් විවිධ ස්ථාන, උද්‍යාන සකස් කර තිබුණත් දරුවන් සමඟ ගෙවන ජීවිතය ඒ අයට අහිමි වෙලා. නමුත් ලංකාවේ පවුල් සංස්ථාව එහෙම නැහැ. අම්මා, තාත්තා, ආච්චි, සීයා, මුණුබුරු, මිණිබිරියන් ආදී වශයෙන් ජීවත් වන මේ හැමෝ ම ජීවිතයෙන් ඈත්වෙන්නේ මරණින් පමණයි. එවන් පවුල් තුළ ආදරය, සෙනෙහස වර්ධනය කරන්න ඒ පවුල් ආරක්‍ෂා කරන්න මේ අවුරුදු චාරිත්‍ර ගොඩක් වැදගත් වෙනවා.

l පුද්ගලයන් ගේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනයට මේ චාරිත්‍ර වාරිත්‍රවලින් ලැබෙන පිටුබලය කෙබඳු ද?

සිංහල අවුරුදු චාරිත්‍ර සියල්ල ම පාහේ් ආධ්‍යාත්මික, ආගමික නැඹුරුවකින් යුක්තයි. අවුරුදු ක්‍රීඩා ගත්තත් ඒවාත් බොහොම සාමකාමී අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය වන ජන ක්‍රීඩාවන්. කඹ ඇදීමේ තරගයත් කවුරුත් සතුටු වන ජයග්‍රහණය සතුටින් භුක්ති විඳින තරගයක්. අවුරුදු උත්සව අවස්ථාවල කැපී පෙනෙන අංගයක් වන ඔන්චිලි පැදීම ගත්ත ද ඒ වටා ගොඩනැඟෙන අන්‍යෝන්‍ය සුහදත්වය ඉතා විශාලයි. ඔන්චිලි පදින්නේ කාන්තා පාර්ශ්වය වුවත් ඔන්චිලි බැඳීම සිදු කරන්නේ පිරිමි පාර්ශ්වය විසිනුයි. ඒ නිසා එවැනි කටයුතු තුළින් සාමුහිකත්වය, සමඟිය වර්ධනය වෙනවා.

හිසතෙල් ගෑම සුහදත්වය වර්ධනය වන තවත් අවස්ථාවක්. සෙනේ කියන පාලි වචනයේ අර්ථය තෙල් යන්නයි. මේ තෙල් ගෑමේ මංගල්‍යය සෙනෙහස පැතිරිලා යන හොඳ අවස්ථාවක්. මෙවැනි අවුරුදු චාරිත්‍රවලින් පිරුණු අලුත් අවුරුද්ද ග්‍රාමීය මෙන් ම නාගරික ජනතාවටත් සුවිශේෂී අත්දැකීමක්. නගරයේ ජීවත් වන ජනතාව තම ගම්බිම්වලට ගොස් නෑදෑ හිතමිතුරන් සමඟ එකතු වන්නේ අලුත් අවුරුදු කාලයටයි. නගරයේ හුදකලාව ජීවත් වන ඔවුන්ට මේ සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් සුවිශේෂියි. නමුත් මේ අලුත් අවුරුදු සැමරුම මස් මාංශ උයා පිහාගෙන මත්ද්‍රව්‍ය භාවිත කරන අවුරුද්දක් නොවිය යුතුයි.

ඒ තුළින් පමණයි අපිට අලුත් අවුරුද්දේ නියම ආශීර්වාදය ලැබෙන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ මිනිසුන් ගේ ආයුෂ දික් කරන අවස්ථාවක් වෙනවා. අලුත් අවුරුද්දත් සමඟ මිනිසුන් ගේ සිත් තුළ ඇති වන සතුට නිසා ලේ ධාතුව පවිත්‍ර වී ආයුෂ දික්වෙනවා. අලුත් අවුරුද්ද හුදෙක් සැණකෙළියක් නොවෙයි. එය විශාල ආධ්‍යාත්මික ක්‍රියාවලියක්.

l ලැබූ නව වසරේ රටක් ලෙස ඉදිරියට යාමට ජනතාව ඒකරාශී විය යුත්තේ කුමන ආකාරයෙන් ද?

අපි ඉතාමත් භාග්‍යසම්පන්න ජාතියක්. අපිට අනන්‍ය වූ දේශීය සංස්කෘතියක්, සභ්‍යත්වයක් මෙන් ම විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපි රටක් ලෙස ඉදිරියට යන්න නම්, මේ දේශය ගොඩනඟන්න ආත්මාර්ථකාමී නොවී සෑම දෙනාම එකමුතු විය යුතුයි.

විශේෂයෙන් රට ගොඩනැඟීම සඳහා රටේ තරුණ පිරිස ඒකරාශී වීම ඉතාමත් වැදගත්. ඒ වගේ ම රටට ආදරය කරන පිරිසක් ලෙස අපි නාස්තිය අවම කළ යුතුයි. දේශීය සමපත් හඳුනාගෙන ඒ දේවල් රට සංවර්ධනයට යොදාගැනීම තමයි වඩාත් ම වැදගත් වන්නේ. අපේ රටේ කොස්, දෙල් ටික ගස් යට වැටෙද් දී අපි වස විෂ කැවූ විදේශීය ආහාරපාන මිල දී ගන්නවා. ඒවා අවම කළ යුතුයි. අපේ රටේ හතර වටේ ගංඟාවල් ගලනවා. නමුත් තවමත් විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් වෙලා. ඒ නිසා ඉදිරියේ දී අපේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් රට සංවර්ධනය කරන්න පුළුවන්.

ඒ වගේම හැකි සෑම විට ම ගෙවත්තේ කුමන හෝ එළවළුවක් වගා කර ගන්න පුළුවන් නම් වස විස නැති සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් අපිට ගන්න පුළුවන්. එය ගෙදරක ආර්ථිකයටත් ලැබෙන විශාල සහනයක්. ඒ නිසා මේ ලැබූ නව වසරේ සෑම දෙනා ම මේ කරුණු සිතට ගෙන නැවුම් බලාපොරොත්තු සමඟින් රටක් ජාතියක් ලෙස පෙරට යාමට කටයුතු කිරීම තමයි වැදගත් වන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා