තාත්තා අපට දුක සැප හොඳට හුරු කළා

තාත්තා අපට දුක සැප හොඳට හුරු කළා

රොෂාන් ගුණවර්ධන

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති

රොෂාන්, මචං අද හික්කඩුවෙ මළ ගෙයක්. යමුද?

හරි යමු. අපේ ගෙදර දී සෙට් වෙමු. එහෙනම් වෙලාවට වරෙල්ලා.

ඇමැති සී.බි සමග

කැබිලිත්ත දෙවාලයේදි

වැඩ බාර ගනිමින්

මංගල මොහොත

මඳ වේලාවකින් මේ යහළුවන් පිරිස සොළොස් වියැති ගැටවරයාගේ නිවසේය. වාහනය බස් එකකි. රොෂාන් වේගයෙන් බසය නිවස පිහිටි වත්තෙන් එළියට ගත්තේය. කොලු ගැටව් එකා පිට එකා බසයට ගොඩ වූ අතර ආසන මදි වූවෝ හිට ගත්හ. විදුලි වේගයෙන් බසය ඉදිරියට ඇදෙයි. කොල්ලන්ට විනෝදයකි. රොෂාන්ගේ හිත වීරත්වයෙන් පිරී ගොසිනි’ “මගේ බස් එක” රොෂාන් යාළුවන්ට කියා ඇත්තේ එලෙසිනි. “යතුර තාත්තා ළ¼ඟ. ආයකටුව බුරුල් වෙද්දී ඩීසල් පම්ප් එක ඇරෙනවා වැහෙනවා. ආයකටු ගහලා බස් එක පණගැන්වූ බවක් අහුවුණොත් ඉවරයි” ඒ රොෂාන්ගේ අකීකරු හිතයි.

නොබෝ වේලාවකින් ගැටව් පිරි බසය නැවතුනේ මළගෙදර මිනී පෙට්ටියට මඳක් නුදුරිනි. ඒ කොලුකමය. නැවත යන්නට බසය හරවා ගත නොහැකිය. තල්ලු කර බසය හරවා ගෙන පිටත් වූ රොෂාන්ට නිවසට ළංවන විට අවටින් කණ වැකුණේ සුබ ආරංචියක් නොවේ. “අන්න, ලොකු මහත්තයා බලාගෙන ඉන්නවා පුංචි මහත්තයා ගෙදර එනකම්. අතේ තුවක්කුවකුත් තියාගෙන” රොෂාන්ට සිහින් දාඩිය බිඳු නැගිණි. දෑත වෙව්ලමින් නිවස පිහිටි වත්තට ඇතුළු වුණේ තාප්පයේද ගෑවීගෙනය. ඒ වනවිට බසය හිස්ය. රොෂාන් දමා යාළුවන් පැන ගොසිනි. හිමින් සීරුවේ ගේ පිටුපසින් නිවසට ඇතුළු වී නිහඬව සිටියේය.

බසය භාර රියැදුරු සහ ගෝලයා අලුයම පැමිණ බසය පණ ගැන්වීමට ගිය විට ඇස ගැටුණේ කිසිවකු විසින් ආයකටු දමා බසය පණ ගැන්වූ ආකාරයයි. කටුවක් ගැල වූ විට දුමාරයක් ද පිට විය. ඒ මදිවාට බසය තාප්පයේ වැදී සීරී ගොසිනි. ඔවුහු ලොකු මහත්තයාට වහාම පැමිණිලි කළේය. උරණ වූ රොෂාන්ගේ පියා තුවක්කුවට පතොරොම් දාන හඬ ඇසුනා පමණි. නිවස පිටුපසින් කළුවරේම පැනගිය මේ ගැටවරයා නැවතුනේ ඇඹිලිපිටියේ සිය බාප්පාගේ නිවස්නේය.

මේ පුවත කාගේ විය හැකිද? ඒ ජාතික ගමනාගමන කොමිසමේ වත්මන් සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ ගැටවර වියේ රස පුවතකි.

මගේ නම රොෂාන් ගුණවර්ධන. උපන් දිනය 1965 සැප්තැම්බර් 28 වැනි දා. පියා ප්‍රේම් ගුණවර්ධන, හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙක්. මව බුද්ධිමතී ගුණවර්ධන. හිටපු අධ්‍යාපන කලාප අධ්‍යක්ෂිකාවක්. පියා ජීවතුන් අතර නෑ. මව පසුගිය සම්බුද්ධ ජයන්තියට මහණ වුණා.

මගේ බිරිඳ සඳුන් ගුණවර්ධන. ඇය මාතර දිස්ත්‍රික්කයේ. ඇය උපාධිධාරී ගුරුවරියක්. දැනට ජාත්‍යන්තර පාසලක සංගීත ගුරුවරියක් ලෙස සේවය කරනවා. පවුලේ දැන හැඳුනුම්කමත් ආදර සම්බන්ධතාවයත් මත මව්පිය ආශිර්වාදය මැද අප විවාහ වුණා. අප දෙදෙනා දරුවන් සිව්දෙනා සමඟ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. ඒ නිවුන් පුතුන් දෙදෙනකුත් තවත් පුතෙක් හා දියණියකුත්. ඔවුන් තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වනවා. එක් පුතෙක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේත්, නිවුන් පුතුන් දෙදෙනා කොළඹ රාජකීය විද්‍යාලයේත් දියණිය සිරිමා විද්‍යාලයේත් අධ්‍යාපනය ලබනවා.

බිරිඳගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. කාර්ය බහුලත්වය නිසා නිවසේ වැඩකටයුතු යම් දුරකට අතපසු වූවත් ඇය මට විශාල සහයක් ලබා දෙනවා. දිනපතා උදේ 07 වනවිට රාජකාරියට වාර්තා කිරීමත් වැඩ කටයුතු අවසන් වනතුරු කාර්යාලයේ රැඳී සිටීමත් මගේ සිරිතක්. රැකියාවෙන් දේශපාලන කටයුතුවලත් නිරත වීමේදී රැයක් දවාලක් නැහැ. ඇය කිසි දිනයක මගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ. ඒ අවබෝධය අප අතර තිබෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වන තෙක් ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රොෂාන් ගුණවර්ධන මහතා උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය.

අධ්‍යාපන කටයුතුවලට වඩා රොෂාන් සිසු අවධියේ වැඩි අවධානයක් යොමු කළේ බාහිර කටයුතුවලටය. දකුණේ එවකට තිබූ එකම යුද හමුදා තූර්යවාදක කණ්ඩායම වූ මහින්ද විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයකු වූ මේ තරුණයා ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් විය. බාහිර කටයුතුවලට අවධානය වැඩි වීමෙන් ඉගෙනීම කටයුතුවලට මැලිකමක් දැක්වූවද ඔහු අධ්‍යාපන කටයුතු අත් නොහළේය.

පාසල් වේලාවේ කාල පරිච්ඡේද අටෙන් දෙකක් රොෂාන්ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙයි. අවස්ථාවක් ලද මොහොතක පාසලෙන් බැහැරව හෝ පාසල තුළදී හෝ යම් දඟකාරකමක් කිරීමට ඔහු රුසියෙකි. “ගුරුවරු උගන්වන දේවල් අහගෙන ඉන්න මං ටිකක් අකමැතියි. කාල පරිච්ඡේද දෙකක් තිබුණොත් දවසෙම කළ වැඩ ටික අල්ලගන්න මට පුළුවන්. වේගයෙන් ලියන්නත් පුළුවන්. වාර විභාගවලදී පේපර් එක අතට ගත්තම මම දන්න ටික නිවැරැදිව ලියාගන්න මට පුළුවන්. ඒ නිසා හොඳට ලකුණු තිබුණා.”

දිනක් රොෂාන්ගේ සගයකුගේ ආරාධනාව වෑවර බොන්නටය. කොලු පිරිස පාසලෙන් පැන ගත්තේය. ඒ යෝජනාව ගෙන ආ සගයා කියා තිබුණේ පොල් වත්ත ඔහුගේ බවකි. කොලු රෑන විශ්වාසයෙන් ඔහු පසුපසිනි. පාසල් නිල ඇඳුම් පිටින් ගැටයන් පිරිස පාවහන් පිටින්ම කිසිදු චකිතයකින් තොරව ගස් නැග්ගෝය.

“පොල් වලු දෙකයි බෑවේ. පොලු කෑලි අතින් අරගත්තු මිනිස්සු තුන්දෙනෙක් ගහ පැත්තට එනවා. යාලුවා කියනවා යමු යමු කියලා. අනිත් අය කියනවා අපි මොකට ද බං යන්නේ මේවා උඹලගෙනෙ.”

“නෑ නෑ බැහැපං” ඒ යහළුවාය. පොල් වත්ත වෙනකෙකුගේය. කොලු පිරිස එකා පිට එකා බැස ගත් අතර පහරවල් කීපයක්ද වැදිනි. “ඒ වගේ දේවල් හරිම සුන්දරයි. අද අපේ ඒ සගයා ඉහළ නිලධරයෙක්”

මොන ද¼ඟ වැඩ කළත් රොෂාන්ට ගුරුවරු ආදෙර්ය. උගන්වන අතරවාරයේ පන්තියේ කෑකෝ ගසද්දී ගුරුවරු තරවටු කරන්නේ, “රොෂාන්, දෙවියන්ගේ නාමෙට කට වහගෙන ඉන්න ලියන්නෙ නැත්නම්” ලෙසිනි. ගුරුවරුන්ට දැක්වූ ගෞරවය නිසා අදටත් ගුරු සිසු සබඳතාවේ වෙනසක් නැත.

මගේ ජීවිතයේ අමතක නොවන චරිතයක් වගේම ගරු කරන චරිතයක් වන්නේ වත්මන් පුද්ගලික ප්‍රවාහන ඇමැති වන සී. බී. රත්නායක මහතා. මම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත වූ කාලයේ එතුමා මට නිතර හමුවුණා. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දීප්තිමත් චරිතයක්. ඒ හිතවත්කම මත මෙතරම් දුරක් එන්න මට අවස්ථාව ලැබුණා. එතුමා මාව දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගත්තා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට 2006 දී අවස්ථාව ලබා දුන්නේ එතුමා. එතුමා 2011 වසරේදී ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සිටියදී එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසත් 2012 වසරේදී එතුමා ප්‍රවාහන ඇමැතිව සිටියදී සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසත් කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඉන්පසුව මම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ලෙස 2011, 2012 වසරවල සේවාවන් රැසකට දායකත්වය දුන්නා.

“මම ගොඩක් ගෞරව දක්වන කෙනෙක් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. එතුමා ප්‍රථමයෙන් ජනාධිපතිවරණයට මුහුණ දුන් අවස්ථාවේදී මම එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැබිලිත්ත දේවාලයේ බාරයක් වුණා. ජනපති ජයග්‍රහණයෙන් පසුව මගේ හිසබූ ගෑමෙන් බාරය ඔප්පු කිරීමටයි මා අදහස් කළේ්. එතුමා ජය ගත් නිසා මගේ උපන් දිනය යෙදී තිබූ ඉකුත් 2011 සැප්තැම්බර් 28 වැනි දා මම ඒ බාරය ඔප්පු කළා.”

ඔබ ලද ජයග්‍රහණයන්?

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ මම දියර කිරි නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කළා. ඒ වනවිට අපේ රටට රුපියල් මිලියන 16.5ක පිටි ගෙන්වූවා. එය අඩු කරන්න අපේ වැඩසටහන මඟින් හැකි වුණා. ගම්මානයේ කිරි කාලට වටිනාකමක් ගෙන දීමයි අපේ පරමාර්ථය වුණේ. එම කාර්යභාරය වෙනුවෙන් දේශීය දියර කිරි ප්‍රවර්ධකයා ලෙස 2007 ජනාධිපති සම්මානය, කෘෂිකර්ම ව්‍යාපාර ජාතික හා ජනාධිපති සම්මානය 2009 වසරේදී මට හිමිවුණා.

පාසල් කාලයේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයකු ලෙස ඔහු ඉහළ දක්ෂතා දැක්වීය. පසුකාලීනව බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දියුණුව සඳහා ගුණවර්ධන මහතා අතින් සිදු වූ සේවය සුළුපටු නොවේ. ඔහු එතරම් කැපවීමෙන් බැඩ්මින්ටන් සේවාව ඉහළ මට්ටමකට ගෙන පැමිණි බව නොරහසකි.

විවේකයක් ලද මොහොතක ගුණවර්ධන මහතා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන්නටත් ව්‍යායාම්වල යෙදීමටත් පි‍්‍රය කරයි. එමෙන්ම සිය පවුල සමඟ විනෝද චාරිකාවල යෙදෙයි. බොහෝවිට එය විදේශ රටකි. ඔහුගේ සොයුරියන් සිටින්නේ විදේශ ගතවය. “අක්කලා කැමති නැහැ මම මේ වගේ පැත්තකට යොමු වුණාට අදටත් ඔවුන් කතා කරන්නේ විදේශ රටක පදිංචියට එන්න කියලා. ඒත් මං මේ වගේ ක්ෂේත්‍රයක රැඳී සිිටිමින් සමාජ සේවා සඳහා යොමු වීමට විශාල කැමැත්තක් දැක්වීමේ හේතුව නිසා තවමත් එවැනි සේවාවල නිරත වනවා.

2012 වසරේ පෙබරවාරි මාසය තුළ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර කටයුතු ආරම්භ කොට තෙමසකට ආසන්නය. එම ක්ෂේත්‍රයෙහි මනා දැනුමක් ඇත්තකු ලෙස පහසුවෙන් එම කාර්යයන් ඉටු කිරීම ගුණවර්ධන මහතාගේ අභිප්‍රාය වී තිබේ.

“ජාතික ගමනාගමන කොමිසන් සභාව බලපත්‍ර ලබා දෙන ආයතනයක් පමණක් නොවෙයි. මේ ආයතනයෙන් රටට සිදු විය යුතු සේවා රැසක් තිබෙනවා. රටේ තිබෙන සියලුම ආයතනවල පෙරගමන්කරුවකු බවට ජාතික ගමනාගමන කොමිසන් සභාව පත් කිරීම මගේ අරමුණයි”

මේ වගේ ශක්තිමත් ගමනකට මවුපියන්ගෙන් ලද ආදර්ශය කුමක්ද?

මම ජීවිතය දිනූ කෙනෙක්. තනිවම ගොඩ නැගුණු කෙනෙක්. එයට ශක්තිය ආශිර්වාදය දුන්නේමගේ මවුපියන්. නිවසෙන් පිටත්වෙද්දී බුදුන් වැඳලා මම මගේ මවුපියන් සිහි කරලා එන්නේ.

පොඩි කාලේ ඉඳන් මගේ තාත්තා මට දුක සැප දෙකම සමව හුරු කළා. තේ, පොල්, රබර්, ඇතුළු වතුපිටි රැසක් අපිට තිබුණා. වාහන 10ක් 15ක් නිතරම අපේ ගෙදර රැඳී තිබුණා. ගෙදර කෑමෙන් බීමෙන් අඩුවක් නෑ. මාළු වගේ දෙයක් විතරයි මිලට ගත්තේ. ඒ සශ්‍රීකත්වය හිමි වුණත් තාත්තා සීසන් අරන් දීලා මාව බස් එකේ යැව්වා. හැම මොහොතෙම පොඩි මිනිහාගේ දුක හුරු කළා.

තාත්තා මට දවසක් මෙහෙම කිව්වා, “පුතේ, බත් එන්නෙ මේසෙන් නෙවෙයි. බත් එන තැන උඹට මං පෙන්නන්නම්” කියලා කුඹුරු ලියැදි පිටින් දුන්නා කොටපන් කියලා.

පාසලේ හතේ අටේ පන්තිවල ඉන්න වයසකදී කුඹුරක ලියද්දක් කෙටීම අද කාලේ දරුවකුට හිතන්නටවත් නොහැකිවනු නිකැකය. එහෙත් පුංචි රොෂාන් කුඹුරට ගොස් ගිනි අව්වේ කුඹුර කෙටුවේය. නියරේ හිඳ ඇඹුල අනුභව කොට ඉර හැරෙන තුරු කුඹුර කොටා අවසන් කළේය.

කවුරුවත් අත් උදව්වකට එන්නේ නැහැ. “අපෝ බේබි මහත්තයො, ලොකු මහත්තයාගෙ හැටි දන්නවනේ. දීලා අදියි අපිට” ගමේ අය කියන්නේ එහෙමයි.

“දුක විඳලා තමන්ගේ දෙපයින් නැඟී ඉන්න පුරුදු වෙයන්” රොෂාන්ගේ හිතට එය තදින් කාවැදිණ. අද ඒ පියාණන්ගේ අවවාද ආශිර්වාද ඔහු සමාජයේ ඉහළ තැනකට ගෙනැවිත් ඇත.

එළවලු ව්‍යාපාරයක් කරන්න මුලින්ම කෝච්චියෙන් පිටකොටුවට ඇවිත් මම සත පනහකට ටැංකියෙන් වතුර නාලයි ගියේ. වසර දෙකකින් ලොරි 15ක හිමිකරුවකු වුණා. එළවලු වගාව මාව දියුණු කළා. පොළොවත් එක්ක හිටිය නිසා පොළොවෙන් මට ගොඩක් දේ ලැබුණා.

ඔබ සමාජයට දෙන පණිවුඩය මොකක්ද?

ඕනෑම පුද්ගලයෙක් සමඟ විශ්වාසවන්තව, අවංකව රැඳී සිටිමින් කැපවීමෙන් තම දක්ෂතාවයන් පෙන්නුම් කළොත් සාර්ථකත්වයක් අත් වනවා කියන එක. විශේෂයෙන් සී. බී. රත්නායක ඇමැතිතුමාගේ ඇසුරින් එය මම අවබෝධ කරගත්තා.

ඔබේ සාර්ථකත්වය තියෙන්නේ?

මම වැඩ කරන හැම වෙලාවක්ම සමාජයේ පොඩි මිනිහා වෙනුවෙන් වැඩ කරනවා. එතැනයි මගේ සාර්ථකත්වය තියෙන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා