දැරිය බිලිගත් තැනදීම මිනීමරු කිඹුලා කොටුවෙයි

දින හයක් තිස්සේ යකඩ කූඩුවක ඇමක්

දැරිය බිලිගත් තැනදීම මිනීමරු කිඹුලා කොටුවෙයි

අකුරැස්ස මාලිම්බඩ ප්‍රදේශයේදී පාසල් දැරියක සහ කාන්තාවක සති දෙකකදී මරණයට පත් කළ මිනීමරු කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාලටුව උතුරු මාලිම්බඩ කුඩා දූව ප්‍රදේශයේ නිල්වලා ගඟේ දී අල්ලාගෙන ඇත.

කිඹුලා කූඩුවෙන් පිටතට ගැනීමට උත්සාහ දරන අයුරු.

කිඹුලා යකඩ කූඩුවේ සිර වී සිටි අයුරු.

දින හයක් තිස්සේ අඩි 18 ය 4 යකඩ කූඩුවක් තුළ දමා තිබූ ඇම කෑමට ගොස් අප්‍රේල් 14 වන දින රාත්‍රී කාලයේදී කිඹුලා හසු වී ඇත. මේ කිඹුලා අඩි 12 ක් පමණ දිග අඩි 4 ක් පමණ ප්‍රමාණයක මහත ඇති ගැට කිඹුල් වර්ගයේ පිරිමි සතෙකි.

පසුගිය 04 වන දින උතුරු මාලිම්බඩ කුඩා දූව ප්‍රදේශයේ පදිංචි පාලටුව ගුණරත්න විද්‍යාලයේ සිසුවියක වන නුවන්තිකා තත්සරණි (18) දැරිය බිලිගත් ස්ථානයේදීම මේ කිඹුලා අල්ලා ගැනීම විශේෂත්වයකි.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු නිලධාරීන්ගේ සහ පරිසරවේදීන් කණ්ඩායමක සහාය ඇතිව දින හයක් තිස්සේ කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් මේ මිනීමරු කිඹුලා අල්ලා ගැනීම ප්‍රදේශ ජනතාවගේ භීතිය යම් මට්ටමකට තුරන් කිරීමට හේතු වී ඇත.

මේ කිඹුලා මීට දින දෙකකට පෙර එම ස්ථානයේදීම දිය මතුපිට සිට ඇති අතර එම අවස්ථාවේදී කිඹුලා අල්ලා ගැනීමට මෙහෙයුම් කණ්ඩායමට නොහැකි වී ඇත්තේ ගමේ ජනතාව විශාල ලෙස එම ස්ථානයට රොක් වී බාධා කිරීම නිසා කිඹුලා දින දෙකක කාලයක් තිස්සේ මතු නොවීම බව පරිසරවේදී සුජීව චන්දන මහතා පවසයි.

ගමේ ජනතාවට කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඔවුන්ගේ සහාය උපරිම ලෙස මේ මෙහෙයුමට ලැබීමත් සමඟ කිඹුලා අල්ලා ගැනීමට මෙහෙයුම් කණ්ඩායමට හැකි වී ඇත.

මාතර කිරලකැලේ අක්කර 50 ක භූමියක කිඹුල් උද්‍යාන ඉදිකරන තෙක් ;ම් කිඹුලා තාවකාලිකව මාතර තාරකා කොටුවේ ආරක්‍ෂිතව රඳවා තැබීමට කටයුතු යොදා ඇත.

මේ සිද්ධිය නැරැඹීම සඳහා විශාල ජනතාවක් එක්රොක් වී සිටි අතර එම පිරිස් හැසිරවීම සඳහා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාතර, කඹුරුපිටිය, තිහගොඩ, කනංකේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරන් ද යොදවා තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා