කිඹුල් - මිනිස් ගැටුමට විසඳුම් සෙවිමට පියවර

කිඹුල් - මිනිස් ගැටුමට විසඳුම් සෙවිමට පියවර

මාතර කිරලකැලේ කිඹුල් ගොවිපළක් ඉදිකිරීමට අවධානය

නිල්වලා නිම්නයේ ජනතාව කිඹුල් උවදුරෙන් බේරාගැනීමට නිල්වලා ගඟ හා කිඹුල් ගහණය, ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා නිසි ප්‍රමිතියෙන් යුතු තවත් ආරක්‍ෂිත නාන කොටු 30 ක් ඉදිකිරීමට කඩිනම් පියවර ගැනේ.

නිල්වලා ගඟේ කිඹුලන්ගෙන් සිදුවන මිනිස් දඩයම ජීවිත හානි වළක්වාලීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එකී පියවර කඩිනමින් ගැනීමට තීරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, මෙය ඉතා සංවේදී මාතෘකාවක්. පසුගිය සතියක් තුළදී තිදරු මවක් හා පාසල් ශිෂ්‍යාවක් අවාසනාවන්ත ලෙස කිඹුලාට ගොදුරු වුණා. මේ වන විට නිල්වලා නිම්නයේ වැසියන් ගඟට බහින්න බිය වෙලා.මේ කිඹුල් උවදුරෙන් ජනතාව බේරාගැනීම සඳහා ජනාධිපතිතුමන් හදිසි විශේෂ සාකච්ඡාවක් කැඳෙව්වා. එහිදී අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නා. අවශ්‍ය අමතර ආරක්‍ෂිත නාන කොටු ඉදිකිරීමට රුපියල් මිලියන 12 ක් ලබා දුන්නා.

ගඟ ගැනත්, ගඟේ පැවැත්ම, කිඹුලන්ගේ හැසිරීම් රටාව ගැන පාසල් සිසුන්ගේ සිටම ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු. පාසල් සිසුන් මාර්ගයෙන් දෙමව්පියන් දැනුවත් කරමු. ඒ වගේම මාධ්‍යවලටත් වගකීමක් තිබෙනවා. නමුත් එවැනි සංවේදී අවස්ථාවලදී වගකීමකින් යුතුව තොරතුරු සැපයීම ගැනත් මාධ්‍යවේදී මහත්වරුන් කල්පනාකාරීව නිවැරැදි තොරතුරු ජනතාව අතරට ගෙන යාමයි වැදගත්. පසුගිය සිද්ධිවලදී මාතර දිස්ත්‍රික් ලේකම්වරිය කිඹුලන් ඔක්කොම අල්ලා ගිහින් දාන්න ඕනේ කියල ප්‍රකාශ කළා කියලා මාධ්‍යයක පළ වුණා. එතුමිය එවැනි කිසිම ප්‍රකාශයක් කරලා නැහැ.

වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්. පී. රත්නායක මහතා, නිල්වලා නදිය කිඹුලන්ගේ ජන්ම ස්ථානයක්. ගඟබඩ ජීවත්වන වැඩි පිරිසක් දුප්පත් මිනිස්සු.

ඔවුන්ගේ නිවාස ආසන්නයේ ඉදිකරගෙන තිබෙන ආරක්‍ෂිත නාන කොටු නිසි ප්‍රමිතියක් නැහැ. ලී පටිවලින්, පුවක් පටිවලින්, උණ පටිවලින් හදාගෙන තිබෙන්නේ.

නිල්වලා ග‍ෙඟ් කිඹුලන් හැත්තෑ පහක්, සියයක් පමණ ඉන්නවායි තොරතුරු ලැබී තිබෙන්නේ. සමහර විට ඊටත් වැඩිවන්න පුළුවන්.

අඩුවන්නත් පුළුවන්. ඔවුන් අල්ලලා කොහේවත් ගෙනිහින් දාන්න පුළුවන් වන්නේ නැහැ.

කිඹුලාගේ පැවැත්ම, කිඹුල් ග්‍රහණය, කිඹුලගේ හැසිරීම් රටාව, ඔවුන්ගෙන් ආරක්‍ෂා වන ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම අනිවාර්ය කටයුත්තක්. කරදරකාරී සතුන් දෙතුන් දෙනෙක් නම් අල්ලාගෙන ගොස් දා හැකියි. එයත් කළ යුත්තේ හරිහැටි හඳුනාගෙනයි. හෝටල් ආපනශාලාවල ඉඳුල් මස් මාළු අපද්‍රව්‍ය ගඟට දානවා. ඒවා කන්න කිඹුලන් ඒ තැන්වලට ඇදී එනවා. ගඟට බරවෙන්න ගඟේ ඉවුරුවල ගස්කොළන්, වන වදුලු වැඩී තිබෙනවා. කිඹුලන් රැඳී ඉන්න ඒ වගේ තැන් ගොඩක් බලපානවා.

දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ,

නිල්වලා ගඟේ ඉහත්තාවේ සිටම කිඹුලන් ඉන්නවා. ගඟට ඉඳුල් අපද්‍රව්‍ය දැමීමේ ක්‍රියාවන් වළක්වාලන්න පියවර ගමු. ගං ඉවුරේ පදිංචි අයට නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් යෙදුවොත් හොඳයි. නිල්වලා ගඟේ අතු ඇළවල්වලත් කිඹුලන් ඉන්න බවට තොරතුරු ලැබී තිබෙනවා.

මාරඹ වැවේත් කිඹුලන් දෙන්නෙකු ඉන්නවා. ඒ වැවට මාළු පැටව් ලක්‍ෂ ගානක් දැම්මා.

නමුත් මාළු අල්ලන්න කිසිම කෙනෙක් ඒ නිසා ගඟට බහින්නේ නැහැ.

මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ මේජර් සමන් බාලසූරිය, මිලියන එකොළහකට වඩා ආරක්‍ෂිත නාන කොටු ඉදිකරන්න වැය කළා.

අප හදිසි අවස්ථාවකදී ගන්න බෝට්ටු ලබා දී තිබෙනවා.

පැය විසි හතරම අපි සූදානමින් සිටින්නේ පැය විසි හතරම අපේ දුරකථන විවෘතයි.

වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්. පී. රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ, අරුණ ගුණරත්න, කාංචන විජේසේකර, මාතර මාලිම්බඩ අකුරැස්ස අතුරලිය හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මාතර නගරාධිපති හා නාගරික මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම්වරිය, මාතර මාලිම්බඩ අකුරැස්ස කඹුරුපිටිය අතුරලිය ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ මේජර් සමන් බාලසූරිය සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා