සාර්ක් සමුළුවේ දී ඇමැති මෛත්‍රීපාලගේ යෝජනාවලිය පිළිගනී

සාර්ක් සමුළුවේ දී ඇමැති මෛත්‍රීපාලගේ යෝජනාවලිය පිළිගනී

2014 සමුළුව ශ්‍රී ලංකාවේ

බෝවන රෝග සහ ජලභීතිකා රෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙළ දකුණු ආසියානු කලාපීය රටවල ක්‍රියාත්මක කිරීමට එම සමුළුවේදී ඒකමතිකව තීරණය කර තිබේ.

පසුගිය 12 වැනිදා මාලදිවයිනේ දී පැවැති දකුණු ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවලිය ඒකමතිකව පිළිගෙන තිබේ.

ඇතැම් බෝවන රෝග සම්බන්ධයෙන් අප රටේ දශක දෙක තුනකින් එකම රෝගියකු හෝ වාර්තා වී නැතත් කලාපයේ අනෙක් රටවල එම රෝග තිබෙන අතර ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මේ යෝජනාවලියට ඉහළ ප්‍රතිචාර ලැබී තිබේ. වසූරිය රෝගය වසර තිහක පමණ කාලයක සිට මෙරටින් තුරන්ව තිබෙන අතර කොළරාව වසර 6 ක් 7 ක් අතරත්, පෝලියෝ අවසන් රෝගියා වසර 6 කට පමණ පෙර හමු වී ඇති බවටත් වාර්තා වේ.

ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම සම්පූර්ණයෙන්ම තුරන් කර තිබේ. 1937 වසරේදී ශ්‍රී ලංකාවේ මැලේරියාව හේතුවෙන් 80,000 ක් මියගොස් ඇති අතර වසර 15 ක 20 ක සිට එකම රෝගියකුවත් වාර්තා වී නැති අතර ජලභීතිකා රෝගීන් ද වසර 6 කට පමණ පෙර 480 දෙනෙකු පමණ මියගිය ද මේ වන විට රෝගීන් 30 ක් 40 ක් පමණක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් බෝවන රෝග සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමට හැකි වී ඇති බව දකුණු ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් පිළිගෙන තිබේ.

2014 දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද මෙහිදී තීරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා