පන්විල මාර්ග පහසුකම් නෑ: ගම් පහක වැසියෝ අසීරුවේ

පන්විල මාර්ග පහසුකම් නෑ: ගම් පහක වැසියෝ අසීරුවේ

කුඩා තේ වතු වගාව ඇතුළු කෘෂිකාර්මික කටයුතු ජීවන වෘත්තිය කරගත් මහපතන ඇතුළු ගම්මාන පහක ජනතාවට මාර්ග පහසුකම් අඩාළ වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්වී සිටිති.

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඳුකරයේ පිහිටි මහපතන, වටකැලේ, කුඩාගම, තරුණ ගොවි ජනපදය රොටු කඩේ ආදි ගම්මානවල ජනතාවට මෙම දුෂ්කරතාව ඇතිවී තිබේ.

මහපතන සිට මෙහි ගම්මාන හරහා ඉදි කර ඇති මාර්ගය තාර ගල් ගැලවී තැන් තැන්වල විශාල වළවල් හෑරී දැනට කිසිදු වාහනයක් ගමන් කිරීම දුෂ්කර වී ඇත.

වසර තිස් පහකට පෙර ඉදිකරන ලද කිලෝමීටර් හතරක් පමණ ඇති මෙම මාර්ගයේ මෙතෙක් කිසිදු පිළිසකර කිරීමක් සිදු නොකිරීමෙන් දැඩිසේ අබලන්ව තිබේ. කුඩා තේ වතුවල දළු අස්වනු ප්‍රවාහනය හා කිරි ප්‍රවාහන කටයුතුද මුළුමනින්ම අඩාළ වී ඇති බව ගම්වාසීහු පැවසුහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහපතන ගම්මානයේ පදිංචි පන්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර පෙරේරා මහතා

ප්‍රදේශයේ ගම්මාන කීපයක දහස් ගණනක ජනයාගේ ප්‍රවාහන කටයුතු සඳහා ඇති එකම මාර්ගය මෙයයි.

කැඩී බිඳී ඇති මෙම මාර්ගයේ දැන් කිසිම වාහනයක් ගමන් කරන්න බැහැ. මාර්ගය පිළිසකර කර ගැනීමට රජයෙන් ඉල්ලීම් කර ඇතත් කිසිවකුගේ අවධානයක් යොමු වලා නෑ.

රිචඩ් පෙරේරා මහතා

මාර්ගය අබලන්වීම නිසා තේ දළු ප්‍රවහනයත් කිරි ප්‍රවාහනයත් අඩාළ වෙලා. ඒවා ගෙන යන ලොරි එන්නේ නැහැ. කිලෝමීටර දෙක තුනක් කන්දේ ඔසවාගෙන යන්න ඕනේ. ගම නැගුම වැඩසටහන යටතේවත් මෙම මාර්ගය පිළිසකර නොකිරීම බලවත් අසාධාරණයක්.

එච්. එම්. වීරසිංහ මහතා

රෝගියකු රෝහලට ගෙන යාමද විශාල ගැටලුවක් වෙලා. මෙම මාර්ගය පිළිසකර කර දෙන ලෙස රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා