බිරියගේ අනියම් පෙම ගැන කන වැකුණු ආරංචිය ඉඳුරුවේ තරුණයකුට මරු කැඳවලා

බිරියගේ අනියම් පෙම ගැන කන වැකුණු ආරංචිය ඉඳුරුවේ තරුණයකුට මරු කැඳවලා

යටලීයේ ගැටගැසූ නයිලෝන් කඹයකින් ගෙල වැලලාගෙන ඉඳුරුවේ තරුණයකු මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ ඉඳුරුවේ මුල්ලේගොඩ පදිංචිව සිටි උඩගෙ කංකානම්ගේ ප්‍රභාත් චාමර (23) නමැති අයෙකි.

මොහු හෝටල් අංශයට සම්බන්ධ රැකියාවක් කළ මොහු අසල්වැසි තරුණියක සමග පෙමින් බැඳුණි. මවුපියන් නොමැතිව චාමර ජීවත් වූයේ තම අයියාත් ඔහුගේ බිරියත් සමග මහ ගෙදරය. අක්කා පදිංචි වී සිටියේ ඒ වත්තේම කෙළවරකය. මිය ගිය අයද මෙම වත්තේම නිවස ඉදි කළේ ඔහුගේ අනාගත සුබ සිද්ධිය පතාය.

මේ අතර ඔහු පෙම් බැඳි තරුණිය මීට වසර එකහමාරකට දෙකකට පමණ පෙර නිවෙසට කැඳවාගෙන පැමිණි අතර ඇය බාල වයස්කාරියක් නිසා විවාහ කටයුතු සිදු කිරීමට නොහැකි විය.

පසුගිය දිනෙක ඔහු නිවසේ සිටින අවස්ථාවක මෙසේ සිය දිවි හානි කර ගෙන ඇත. මොහුගේ මරණය පිළිබඳ පැවසු මිය ගිය අයගේ සොයුරා වන යු. කේ. කීර්ති

‘මේ ගෙදර මමත්, බිරියත්, මල්ලීත් ජීවත් වුණා. මීට වසර එකහමාරකට පමණ පෙර ඔහු තරුණියක් සමග සම්බන්ධයක් ඇති කර ගෙන නිවෙසට කැඳවාගෙන ආවා.

ඇයට වයස අඩු නිසා විවාහය ලියාපදිංචි කිරීමට නොහැකි වුණා. මල්ලී හෝටලයක රැකියාව කළා. අපේ ගෙදරට පහළින් අලුත් නිවෙසකුත් හදන්න ගත්තා. මමත් බිරියත් වැඩට ගියාම නිවසේ හිටියේ මල්ලී විතරයි.

මේ අතර ඔහු එක්කගෙන ආ තරුණිය සමග එකට ජීවත් වුණා. දැනට සති දෙක තුනකට කලින් ඇය තවත් තරුණයෙක් හා සම්බන්ධයක් ඇති කර ගෙන එය අපට ආරංචි වුණා. මල්ලී මේ ගැන කනගාටුවෙන් හිටියා. අප පොලිසියේ පැමිණිල්ලක් ලියා ඇයව ගෙදර යැව්වා.

සමාජයට මුහුණ දීමට නොහැකි නිසා මල්ලී වේදනාවෙන් හිටියේ. පසුව ඔහු රැකියාවට ගියේත් නැහැ. සිද්ධිය වූ දා ඔහු පමණයි නිවසේ සිටියේ. උඩහ ගෙදර මගේ සහෝදරිය ඉන්නවා. ඇය ඇවිත් බලන විට මල්ලී එල්ලී සිටිනවා එයා දැකලා පසුව රෝහලට ගෙන ගොස් තිබෙනවා.

මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය මහ රෝහලේදී පැවැත්විණි. ගාල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී එල්. බී. එම්. ප්‍රනාන්දු හා ඉඳුරුව හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකුරටියගම මහත්වරු එම පශ්චාත් පරීක්ෂණ පැවැත්වූහ.

කොස්ගොඩ පොලිසියේ සැරයන් ඒ. ඩී. ධනපාල (පී. එස්. 20038) මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කෙරිණි. එහිදී සාක්ෂි දුන් කුමාර විදානෙලාගේ මයුරි හර්ෂිකා (18) මහත්මිය

මගේ ගම මුල්ලේගොඩ. මිය ගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි අයයි. අප නීතියෙන් විවාහ නොවූවත් වසර දෙකක් පමණ අඹු සැමියන් වශයෙන් සිටියා. මහ ගෙදර අයියයි, බිරියයි, අප දෙන්නයි එකට උයා ගෙන කෑවා.

මගේ වයස සම්පූර්ණ වී නොතිබීම නිසා විවාහය ලියාපදිංචි කරන්න බැරි වුණා. අපි දෙන්නා අප්‍රේල් පළවැනිදා බඳින්න තීරණය කර ගෙන හිටියා.

ඒත් අයියලාට කවුදෝ කේළමක් කියලා සති දෙකකට විතර කලින් මට ගහලා එලෙව්වා. මට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඒකත් නැති වුණා. කලිනුත් දෙවරක් දරු ගැබවල් නැති වුණා. මාර්තු 10 වැනිදා මම ගෙදර ගියාට පසු මට අතරමගදී හමුවී එයා කතා කළා. අප දෙන්නා දෙද්දුව හෝටලයකදීත් හමු වුණා. එදා කතා කර ගත්තා ළඟදීම බඳින්න. පසුගිය 31 වැනිදා උදේ චාමර අපේ අම්මාගේ ෆෝන් එකට කතා කර මට හෙට පාන්දරින් එන්න කීවා. ඊට පස්සේ යාලුවෙකුගේ ෆෝන් එකකින් කතා කරලා අයියා එයාගේ ෆෝන් එක ගත් බව කීවා.

හවස චාමරලාගේ ගෙවල් පැත්තෙන් කෑ ගහනවා ඇහුණා. මම අපේ අයියා කෙනෙකුව යැව්වා. ඔහු ඇවිත් කීවා චාමර එල්ලිලා මැරිලා කියා. මැරෙන්න හේතුව මම දන්නේ නැහැ. මටත් ඒක ප්‍රශ්නයක්. අපි නීතියෙන් බැඳලා හොඳින් ඉන්නයි හිටියේ. ඒත් ඒකට දෛවය ඉඩ දුන්නේ නැහැ. මම දැනුවත්ව නම් කිසි වරදක් කරලා නැහැ.

උඩගෙ කංකානම්ගේ රමණී

මිය ගොස් ඇත්තේ මගේ බාල මල්ලී. මවුපියන් මිය ගිහින්. වසර එකහමාරක පමණ සිට මල්ලී ගැහැනු ළමයෙක් සමග ගෙදර හිටියා. වයස අසම්පූර්ණ නිසා විවාහය ලියාපදිංචි කර නැහැ. මල්ලි එයාට ආදරේ වුණත් එයා මල්ලීට ආදරේ නැහැ. එයාගේ වෙනත් සම්බන්ධයක් ගැන අපට ආරංචි වුණා. මල්ලීත් දැන ගෙන තිබුණා. පසුව එයාගෙ අම්මලාට එයාව බාර දුන්නා. මල්ලී මේ ගැන හරි හිත් අමාරුවෙන් හිටියා.

මමත් ඒ වත්තෙම පදිංචි වී ඉන්නේ. එදා හවස මම එනකොට මල්ලී කාමරේ එල්ලිලා හිටියා. පුතත් මමත් එකතු වී මල්ලීව බිමට ගත්තා. හිතේ අමාරුවට මේක කර ගන්න ඇතැයි හිතනවා. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සලකා බැලූ ඉඳුරුව හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකුරටියගම මහතා මෙය ගෙල වැලලා ගැනීමෙන් සිය දිවි හානි කර ගැනීමක් යැයි නිගමනය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා