දකුණු ආසියාවේ ජයකෙහෙලි නැංවීම නව වසරේ ශ්‍රී ලංකා කෙළිබිමේ ඉලක්කයයි

දකුණු ආසියාවේ ජයකෙහෙලි නැංවීම නව වසරේ ශ්‍රී ලංකා කෙළිබිමේ ඉලක්කයයි

ලබන වසරේ පෙබරවාරි මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඉහලම ජයග්‍රහණ ලබාගැනීමට අවශ්‍ය පසුබිම සැකැසීම ලැබුවා වූ නව වසරේ ප්‍රධානතම ඉලක්කය බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

දකුණු ආසියානු රටවල් අතරේ පුංචි ඔලිම්පික් උළෙල ලෙස සැලැකෙන මේ ක්‍රීඩා තරගාවලියට ක්‍රමවත්ව සූදානම්වීම උදෙසා දැනටමත් බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇතැයි ඇමැතිවරයා පැවැසීය. මෙතෙක් පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිවලට වඩා ශ්‍රී ලංකාව මෙවර පූර්ව සූදානමකින් පසුවීම අනෙක් රටවලට අභියෝගයක් වනු ඇතැයි ද ක්‍රීඩා ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

දකුණු ආසියානු ක්‍රීඩා ලේකම් කාර්යාලයක් විවෘත කර ඒ තුලින් සියලු දෑ සම්බන්ධිකරණය කිිරීමට දැන් සිටම පියවර ගෙන ඇත.

එමෙන්ම තෝරාගත් ක්‍රීඩා 23කට කළමනාකරුවන් පත්කර ක්‍රීඩා සංචිත ආරම්භකර පවත්වාගෙන යයි. එම ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මාසිකව ඇගැයීමකට ලක් කර ප්‍රගතිය විමසා බලනු ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත් කෙරෙන සෑම ක්‍රීඩාවකටම විදෙස් පුහුණුකරුවෙකු ලබාදීම දැනටමත් ආරම්භ කර තිබේ. ක්‍රීඩා කීපයක විදෙස් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කිරීම් අරඹා ඇති අතර අනෙක් විදෙස් පුහුණුකරුවන් ඉදිරි කාලයේ දී ලබාදීමට කටයුතු කෙරේ.

විදෙස් පුහුණුකරුවන්ට අමතරව ප්‍රධාන ජාතික පුහුණුකරුවෙකුගේ සේවය සියලු ක්‍රීඩා වෙත මේ වනවිට ලබා දී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන තෙක් පුහුණු සංචිත සැලසුමක් අනුව පවත්වාගෙන යාමට සෑම ක්‍රීඩා සංගමයකටම මුදල් ප්‍රතිපාදන ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අවසන්වරට නියෝජනය කළ 2010 දී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 56ක් ලබා සිවුවැනි ස්ථානයට පත්විය. බංග්ලාදේශයේ පැවැති මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්වූ අතර ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය ඉදිරියට පැමිණියහ.

එහෙත් 2006 දී කොළඹ පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් 37ක්, රිදී 63ක් සහ ලෝකඩ 78ක් සමග තෙවැනි ස්ථානයේ සිටියේය. එවිට ශ්‍රී ලංකාවට ඉහළින් ඉන්දියාව හා පාකිස්තානය සිටියහ.

වසර 2013 දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දොලොස්වැනි සාග් තරගාවලිය වේ. මෙයට පෙර ඉන්දියාවේ දී කල්කටා (1987) හා චෙන්නායි නුවර (1995) දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පවත්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා