අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ගුණරත්නම්ගේ ඇත්ත නම ඔස්ට්‍රේලියාව දැන සිටියා

රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන්න පියවර

අපරාධ කල්ලි කොටුකර ගැනීමේ ඉඩ ඇහිරිලා

අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කරයි

යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වී ඇතැයි ලයිස්තු ගත කර ඇති බොහෝ දෙනෙක් විදේශ අනුග්‍රහය යටතේ නව හැඳුනුම්පත් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට යුරෝපය ඇතුළු රටවල නව හැඳුනුම්පත් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අනුව මෙරට අතුරුදන් ලැයිස්තුවල සිටින කොටි ක්‍රියාකාරිකයන්ට විදේශයන්හිදී රැකවරණය ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

දේශපාලන රැකවරණ පතමින් ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවලට නීත්‍යනුකූල නොවන අයුරින් යන අය පවා ආරක්ෂා කරන බව පවසන ආරක්ෂක ලේකම්වරයා මේ නිසා මෙවැනි පුද්ගලයන් පිටරටවලට යැවීමට වගකිව යුතු සංවිධානාත්මක අපරාධ කල්ලි කොටුකර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩ ඇහිරී ඇති බව කියයි. අලුතෙන් පිහිටුවන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ගුණරත්නම් නැමත්තාට එන් 1016123 යටතේ ඕස්ට්‍රේලියානු රජය වෙනත් නමකින් ගමන් බලපත්‍රයක් ලබාදී තිබුණේ ඔහුගේ සත්‍ය නම දැන සිටියදී බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් නව හැඳුනුම්පත් යටතේ දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් සොයා ගැනීමට ශ්‍රී ලංකාව සිදුකළ විමර්ශනවලට සහාය දැක්වීම ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ප්‍රතික්ෂේප කළ බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අයද ඇතුළුව එසේ විදේශ ගතව සිටින ඉහළ පෙළේ කොටි සාමාජිකයන් පිළිබඳ කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුම්වත් කර ඇතැයි හෙතෙම කියයි. ජනාධිපතිවරයා ඉලක්ක කර ගෙන කතරගමට මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ගෙනා කොටි සාමාජිකයා මුස්ලිම් නමකින් ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත්තද ඔහුගේ මාපියන් වාර්තා කර තිබුණේ මොහු අතුරුදන් වී ඇතැයි යනුවෙන් බවත් හෙතෙම පවසයි.

තමාගේ අත්වලට මාංචු දමා ඇස් ආවරණය කර ශාරීරිකව හා මානසිකව වද හිංසා කළ බවට නොයෙල් මුදලිගේ කළ ප්‍රකාශය සත්‍ය වශයෙන් කළයුතුව තිබුණේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්වරයා ඉදිරියේ ප්‍රකාශ සටහන් කර ගන්නා මොහොතේ දී යැයි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහුට දඩයක් නියම කර තිබූ බව පෙන්වා දෙන ඒ මහතා රජය ඔහු පිටුවහල් නොකළ බවත් ඔහුට පිටව යාමට අවශ්‍ය වූ බවත් කියයි. මුදලිගේ මෙන්ම දිමුතු ආටිගල අතුරුදන් වී ඇතැයි පැමිණිලි කිරීමට එම පක්ෂය දීර්ඝ කාලයක් ගෙන ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා මෙය රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ ගැනීමක් බව පවසයි.

මේ අතුරුදන්වීමේ චෝදනාව ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නේ කවර අවස්ථාවේදීද, මොහුට ඕස්ට්‍රේලියාව නව හැඳුනුම්පතක් ලබා දුන්නේ කවදාද ? ඔහු එරටින් තවත් හැඳුනුම්පතක් ලබාගෙන ඇතිද ? තවත් රටක හැඳුනුම්පත් ඔහු සතුව ඇතිද ? යන කාරණා දැන ගැනීමට තමා කැමැත්තෙන් පසුවන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා