හෙණ ගහපන් ! ගණන් බලාපන් !

හෙණ ගහපන් ! ගණන් බලාපන් !

හෙණ ගහපං ! ගණන් බලාපං ! යැයි ගැමි කියමනක් තිබේ. ගැමියා එය භාවිත කරනුයේ විස්මිත සිදුවීමක් පෙන්වාදීමට හෝ කරදරයක් පිළිබඳ තොරතුරු දැන්වීමට හෝ ය. හෙණ ගහපං ! ගණන් බලාපං යැයි කියමින් ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය යුතු කරුණක් අප ඉදිරියෙහි ද පවතී. ඒ හෙණ වැදීම හෙවත් අකුණු සැර වැදීම ය. අකුණු සැර වැදී මිනිසුන් මරණයට පත්වීම ය. මාතර අකුරැස්ස පළාතේ ගැහැනු දෙදෙනෙක් හා එක් පිරිමියෙක් එක ම දිනයක දී අකුණු සැර වැදීමෙන් මිය ගියහ. පසුගිය දින කිහිපය තුළ දී පමණක් දස දෙනෙක් අකුණු සැර වැදීමෙන් මිය ගියහ. ශ්‍රී ලංකාව තුළදී අකුණු සැර වැදීම නිසා වසරකට මිය යන සංඛ්‍යාව පනහක් ලෙස ගණන් බලා තිබේ.

අකුණු කෙටීම හෙවත් හෙණ ගැසීම ස්වාභාවික සංසිද්ධියකි. එය නැවැත්වීමට අපට පුළුවන්කමක් නැත. අන්තර් මෝසම් පවතින කාලයේ සංවහන වැසි සමඟ හෙණ ගැසීම සිදුවන බව කියති. දැන් ආරම්භ වී ඇත්තේ අන්තර් මෝසම් කාලය යි. මේ සමය මැයි මාසය මැද තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අකුණු ගැසීම නැවැත්විය නො හැකි මුත් අකුණු ගැසීමෙන් මිනිසාට සිදුවන අනතුරු අවම කරගත හැකි ය. නැතහොත් එයින් මුළුමනින් ම වැළකී සිටිය හැකි ය. අවශ්‍ය වන්නේ දැනුම්වත්භාවය හා උපදේශන පිළිපැදීම ය.

මීට දින දෙකකට පෙර මාතර අකුරැස්ස ප්‍රදේශයේ තිදෙනෙකුට අකුණු සැර වැදුණේ නොසැලකිල්ල නිසා ය. කාන්තාවෝ දෙදෙනෙක් තේ දළු නෙළමින් සිටිය දී අකුණු සැර වැදී මිය ගියහ. පිරිමියා මිය ගියේ කුඹුරක සී සාමින් සිටිය දී ය. අකුණු පුපුරන කාලය තුළ උස්බිම්වල නො සිටින ලෙසට ද, විවෘත භූමිවල වැඩෙහි යෙදීමෙන් වළකින ලෙසට ද අනන්තවත් උපදේශන ලබා දී තිබේ. එහෙත් බොහෝ දෙනෙකු ඒවා ගණන් ගන්නේ නැත. රිය අනතුරුවලින් ද, ඩෙංගු රෝගයෙන් ද, ජලභීතිකා රෝගයෙන් ද, ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මිය යති. දැන් අකුණු සැර වැදීමෙන් ද මිනිස්සු මිය යති. මීට ප්‍රධාන ම හේතුව නො සැලකිල්ල යි.

මීට වසර දහයකට පහළොවකට පෙර හෙණයක් ගසා මනුෂ්‍යයකු මිය ගියේ නම්; ඒ ඉතාම කලාතුරෙකින් ය. හෙණයක් වැදී මනුෂ්‍යයකු මිය යෑම ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකති. ගමේ මිනිසුන් හෙණ වදිත්වා ! යැයි ශාප කළේ අපරාධකාරයන් අරභයා පමණි.

එහෙත් අද වනවිට සමස්ත සමාජයම අකුණු අනතුරුවලට මුහුණ දී සිටී. මේ ස්වාභාවික සංසිද්ධිය අපේ සමාජයට අභියෝගයක් වූයේ කෙසේ ද? වසරකට අකුණු අනතුරුවලින් පනස් දෙනෙකු මිය යන්නේ් නම්; එය බරපතළ තත්ත්වයකි.

මෙහි අලුත් ප්‍රවණතාව වන්නේ අකුණු සැර වැදී මිය යන පිරිස ක්‍රමයෙන් අධික වීම ය. සමාජය විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වෙත් දී මෙබඳු ස්වාභාවික අනතුරුවලට ගොදුරුවීම අධික නම්; සමාජ ඇවතුම් පැවැතුම්වල ප්‍රශ්නයක් තිබිය යුතු ය.

මාතර – අකුරැස්සේ ගැහැනු දෙදෙනකු හා පිරිමියකු අකුණු සැර වැදී මිය ගියේ තනිකර ම මෝඩකම නිසා ය. මෝඩකම් නිසා ද, හිතුවක්කාරකම් නිසා ද අපේ මිනිස්සු බොහෝවිට අමාරුවේ වැටෙති. ඇතැම්විට විනාශ වෙති. විදුලිය සම්බන්ධ භාවිතයන් හරි හැටි නො දැන එය භාවිත කිරීමට යන අය විදුලිය සැර වැදී මිය යති. අකුණුසැර වැදීමේදී ද නො දැනුවත්කම හා හිතුවක්කාරකම හොඳටම බලපායි. සමහරුන් සිතනුයේ විදුලිය පමණක් නො ව අකුණු සැර පවා තමනට යටත්විය යුතු බව ය. එය අතිශය මෝඩකමකි. අකුණු සමය තුළ රූපවාහිනිය නැරඹීමෙන් ඉවත් විය යුතු යැයි අනන්තවත් උපදේශන තිබේ.

ජනමාධ්‍ය මගින් ද අන්තර් පුද්ගල සන්නිවේදනය මගින්ද මේ පණිවුඩය සමාජය වෙත ගොස් තිබේ. එහෙත් බොහෝ දෙනා එය නොසලකා හරිති. මහා වැස්සේ විදුලිය කොටද්දී සමහරු ටෙලිවිෂන් නරඹති. රෙදි මදිති. විදුලියට සම්බන්ධ නොයෙක් ක්‍රියාකාරකම්වල ද යෙදෙති.

බාල ගණයේ ටෙලි නාට්‍යයකට වඩා ජීවිතය වටින බව මිනිසුන් කල්පනා කළ යුතු ය. බොරු පුරාජේරුවට රෙදි මැදගෙන මහේශාක්‍ය ලීලාවෙන් සැරසී යනවාට වඩා සරල චාම් ජීවිතය වටිනා බව මිනිසුන් තේරුම් ගත යුතු ය.

කිසිවකු පැළඳ සිටින රෙද්ද – බැනියමෙන්, සාරිය – හැට්ටයෙන් මිනිසකු හෝ ගැහැනිය හෝ මනින්නේ මෝඩයන් මිස බුද්ධිමතුන් නොවේ. එය ඊයේ මෙන් අදටද අද මෙන් හෙටට ද බලපාන සත්‍යය ධර්මතාවකි. මේ ධර්මතාව වටහාගත නොහැකි මිනිස්සු කාලගුණයෙන්ද, දේශගුණයෙන් ද, තවත් බොහෝ දෙයින්ද හොඳටම බැට කති. ඔවුන් බේරාගැනීමේ හැකියාවක් අපට ද නැත. පිස්සුවට බෙහෙත් ඇතත්; මෝඩකමට බෙහෙත් නැතැ’යි කතාවක් පවතිනුයේ ඒ නිසාය. උදෑසන හතරට අවදිවන බස්කාරයා එතැන් සිට දවස නිමාවන තෙක් එක පිම්මේ දුවයි. මේ ක්‍රියාදාමයන්වල අරමුණ වන්නේ සමාජීය ජීවිතය සැහැල්ලු කිරීමය. සමස්ත සමාජය එකිනෙක ක්‍රියාකාරකම්වලින් බැඳී සිටී. එම බන්ධනයේ පුරුක් ගැලවී ගිය කල සමස්ත සමාජයම මහත් අපහසුවට පත් වේ. ස්වාභාවික උවදුරුවලට මුහුණ දෙන සමාජ ක්‍රමයක්ද තිබේ. ඊට අනුව හෙණ ගසනවිට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානවලට යා යුතු ය.

අතීත මිනිසා හෙණවලට ගොදුරු වූයේ ඉතා ම කලාතුරෙකින් ය. ඔහු විද්‍යාව ගැන මෙතරම් දැන සිටියේ නැත. ආරක්ෂිත ක්‍රම ගැන දැන සිටියේද නැත. එහෙත් ඔහුට ජීවත්වීමේ පැහැදිලි ක්‍රමෝපායක් තිබිණි.

එම ක්‍රමෝපාය නිර්මාණය වූයේ සමාජයේ අතීත දැනුම උපයෝගී කරගෙන ය. අද මිනිසා අතීත දැනුමට සිනාසෙයි. හිතුවක්කාර ලෙස ජීවිතය ගෙවයි. එහි ප්‍රතිඵලය නම්; හෙණ ගෙඩියටත් මිනිසා ගොදුරුවීම ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා