තෙල් මිල නැග්ගත් බඩු මිල නැග්ගෙ නෑ

තෙල් මිල නැග්ගත් බඩු මිල නැග්ගෙ නෑ

මහින්ද යාපා අබේවර්ධන - කෘෂිකර්ම ඇමැති

l ගොවිතැන හා කෘෂිකර්මය පිළිබඳ මීට ටික කලකට පෙර තිබුණේ අඩු අවධානයක්. ඒත් අද වන විට ගොවිතැන පිළිබඳත් කෘෂි ක්‍ෂේත්‍රය පිළිබඳත් විශාල අවධානයක් ඇතිවෙලා තිබෙනවා. මේ විදියට ගොවිතැන හා කෘෂික්‍ෂේත්‍රය පිළිබඳ ජනතාව ගේ අවධානය වැඩි වීමට හේතු වුණේ කුමන කරුණක්ද?

2005 දී ජනාධිපතිතුමා බලය පැමිණීමට පෙර ගොවියාට විශාල පාඩුදායි හා නො සැලකිල්ල මුසු වූ කාලයක් තමයි ගත වුණේ. ඒත් 2005 න් එළැඹියේ පසු ගොවියාට විශාල වටිනාකමක් හා වැදගත්කමක් ලැබු යුගයක්. ඒ තත්ත්වය ඇති වුණේ ජනාධිපතිතුමා ගේ වැඩපිළිවෙළ නිසයි. පොහොර සහනාධාරය ලබා දීම ඇතුළු ගොවියාට අවශ්‍ය ශක්තිය ලබා දීම යන කරුණුත් මේ සඳහා විශාල පිටිවහලක් ලැබුණා. ඒ වගේම බීජ පවා නොමිලේ ලබා දීමට රජය එක් අවස්ථාවක කටයුතු කළා. මේ සියල්ල නිසා නිෂ්පාදනය ඉහළ ගියා පමණක් නොවෙයි ගොවියාගේ ආදායම් ප්‍රමාණය ද විශාල ලෙස ඉහළ ගියා. ගොවියා ගේ මේ උනන්දුව හා රජයේ සැලැසුම් සහගත සහයෝගය නිසා තමයි කෘෂිකර්මාන්තයේ ප්‍රබෝධයක් ඇති වුණේ. මේ අනුව අපි සැලසුම්කර තිබෙනවා මේ අස්වනු අතිරික්තය විදේශ රටවලට අපනයනය කිරීමට. ඒ පිළිබඳ සැලැසුම් හා වැඩපිළිවෙළ දැනටමත් සකස්කර තිබෙනවා.

l ඔබ සඳහන් කළා අතිරික්ත අස්වනු ප්‍රමාණය විදේශයන් වෙත අපනයනය කරන බව. මේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

විදේශ වෙළෙඳපොළ වෙත සහල් අපනයනය කිරීම සඳහා සැලැසුම් කර තිබෙනවා. එහිදී අපි විදේශ පරිභෝජනය පිළිබඳ ත් විදේශ පාරිභෝගිකයන්ගේ උනන්දුව පිළිබඳ ත් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතුයි.

මෙතැන දී අප අවධානය යොමු කළ යුතුයි විදේශ රටවල්වලට අවශ්‍ය ප්‍රමිතිය මොකක්ද කියලා. අප සිදු කළ යුත්තේ ඒ ප්‍රමිතියට අනුගත නිෂ්පාදනයි. ඒ නිසා ගොවියන් කල්පනාකාරීව මේ ගැන කටයුතු කළ යුතුයි.

l ඔබ කියන්නේ ප්‍රමිතියෙන් පහළ නම් සහල් අපනයනය හෝ වී රජයට මිලදී ගැනීම අපහසු බවද?

ඔව් ප්‍රමිතිය නැති නම් අපට ඒ දේවල් මිල දී ගන්න බැහැ. එය සත්‍ය තත්ත්වයක්. ඒ නිසා ප්‍රමිතිය ගැන සියලු පාර්ශ්ව අවධානය යොමු කළ යුතුයි. එහෙම ප්‍රමිති ගත නිෂ්පාදනයක් නම් අපනයනය කිරීම හෝ අලෙවි කිරීම පහසුයි.

l වී මිලදී ගැනීම හා අලවියේ දී ගොවියාට බලාපොරොත්තු වන ප්‍රමාණයේ මුදලක් නො ලැබෙන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා විෂය භාර ඇමැතිවරයා ලෙස මේ ගැන අදහස කුමක්ද?

ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් දහසයක් පමණ මුදලක් තමයි වැය වෙන්නේ. එය තමයි වියළි කලාපයේ දී වී කිලෝවක් සඳහා යන මුදල .ඒ වගේම තෙත් කලාපයේ දී වී කිලෝවකට රුපියල් 38 පමණ මුදලක් වැය වෙනවා. පසුගිය කන්න දෙකේද වගාවට සුදුසු දේශගුණයක් තිබුණා. ඒ නිසා අස්වැන්න ප්‍රමාණයක් ඉහළ ගියා. මේ සියලු කරුණු නිසා තමයි වී මිල පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණේ. සමහර ස්ථානවලින් අක්කරයකට වී බුසල් 150ක් පමණ ලැබුණු අවස්ථා තිබුණා.

l වී සඳහා පාලන මිලක් අවශ්‍ය බවට සමහර පාර්ශ්වයන්ගෙන් යෝජනා පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස මොනවගේද?

පාලන මිලක් අවශ්‍ය වෙන්නේ නැහැ.

උපරිම මිල තමයි අවශ්‍ය කරන්නේ. රජ‍යේ අරමුණ වෙලා තිබෙන්නෙ ත් උපරිම මිලක් ලබා දීම යි . අස්වැන්න නිෂ්පාදනයේදී ම එම නිෂ්පාදනය අලෙවිකිරීම ගැන අවධානය යොමු කර කටයුතු කළ යුතුයි.

l පසු ගිය දිනවල ගොවින් වී මිල ගැන රජයට දොස් නඟමින් විරෝධතා ව්‍යාපාරයන්හි නියැළුණා. මේ විරෝධතා ව්‍යාපාර පිටුපස තිබූ දේශපාලන හස්තයන් පිළිබඳ ඔබේ අදහස මොන වගේද?

සියලු දේවල් පිටුපස දේශපාලනය තිබෙනවා. දේශපාලනය නැති දෙයක් නැහැ. සියල්ල පිටුපස ම දේශපාලනය තිබෙනවා. විරෝධතාවලට ගොවීන් නිකම්ම ආවේ නැහැ. ඔවුන් උසිගැන් වූ අවස්ථා තිබෙනවා. ඒ සඳහා ඔවුන් පෙළඹ වූ අවස්ථා තිබෙනවා. ගොවියාට සුළු ප්‍රමාණයක් තිබෙනවා නම් එය දෙගුණ කර උසිගැන්වීම තමයි සිදු වුණේ. පසුගිය දිනවල දිගින් දිගටම මේ විදිහේ දේශපාලන අත පෙවීම් මුල්කරගත් විරෝධතා ව්‍යාපාර රාශියක් සිදු වුණා. හලාවත දී කටුනායක දී මෙවැනි දේවල් තමයි සිදු වුණේ.

l එළවළු මිල පහළයාම මඟින් පාරිභෝගිකයාට වාසියක් ඇති වුණත් ගොවියාට එමඟින් විශාල පාඩුවක් සිදු වෙලා තිබෙනවා. මේ තත්ත්වය කළමනාකරණයට ආණ්ඩුවට ගත හැක්කේ මොන වාගේ පියවරක්ද?

එළවළු මිල පහළ යාමට ප්‍රධාන කාරණයක් විදියට මා දකින්නේ. ගෙවතු වගා පිළිබඳ ජනතාව ගේ උනන්දුව ඉහළ යාමයි. ඒ අතර එළවළු අස්වැන්න ඉහළ ගියා. මේ සැම කරණක්ම මුල්වීම නිසා තමයි එළවළු මිල ගණන් පහළ ගියේ. මේ තත්ත්වය නිසා ගොවියා අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ තත්ත්වය වැළැක්වීමටත් සැලැසුම් සහගත වැඩපිළිවෙළක් තමයි අවශ්‍ය කරන්නේ. ඒවගේම එළවළු පරිභෝජනය ඉහළ දැමීමටත් කටයුතු කළ යුතුයි. සාපේක්‍ෂව බැලුවහොත් අද එළවළු පාරිභෝජනය ‘එක්තරා සීමාකාරී මට්ටමකයි. තිබෙන්නේ. ඒ නිසා අප ජනතාව එළවළු පාරිභෝජනයට උනන්දු කර යුතුයි.

ඒ වගේම එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන වී ඇත්තේ කල්තබා ගැනීමට නො හැකිවීම යන කරුණයි. ශීතකරණයක තැබුවත් අපට එළවළු තියාගන්න පුළුවන් දින හය හතක් පමණයි. එළවළු මිල ඉහළ පහළ යාමට මේ සියලු කරුණු අඩු වැඩි වශයෙන් බලපානවා.

l ජීවන මිල ඉහළ යාම උද්ධමනය ඉහළයාම වැනි කරුණු පිළිබඳ සහ එම තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ඔබේ අදහස මොන වගේද?

උද්ධමනයේ හෝ ජීවන මිලේ පැහැදිලි ඉහළයාමක් ඇතැයි සිතන්න බැහැ. පසුගිය සති කිහිපයේ දී සහල්, එළවළු, පරිප්පු, අල, ළූණු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාමක් දක්නට නැහැ. ඇතැම් අවස්ථාවල මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගියාට එමඟින් විශාල බලපෑමක් ජීවන මිලට ඇතිවෙන්නේ නැහැ.

විශේෂ සටන්පාඨයක් විදියට බඩු මිල ඉහළ යාම ගැන කතා කළත් සාධාරණ හා මැදහත් ලෙස සිතනවා නම් පසු ගිය මාස කිහිපයේ දී විශේෂ මිල ඉහළයාමක් ඇති වුණේ නැහැ. ඇතැම් අය හිතුවා තෙල් මිල ඉහළ යාමත් සමඟ සියලු දේ වේගවත්ව ඉහළ යයි කියලා එහෙත් එහෙම තත්ත්වයක් උදා වුණේ නැහැ. ඒ නිසා ජීවන මිල ඉහළ යාම හා ඒ පිළිබඳ කතා බහ දේශපාලන සටන් පාඨයක් විදියට තමයි අප සැලකිය යුත්තේ.

l සංවර්ධනය ඇතුළු කාර්යයන් සිදු වුවද ඒවායෙන් බහුතරය ජනතාවට ප්‍රතිඵලදායක නොවන නාස්තිකාර වියදම් විදියට විපක්‍ෂය නම් කරනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ කතා ඉතාමත් ද්වේෂ සහගතව සිදු කරන දේවල්. දැයට කිරුළ කියන්නේ නාස්තිකාර වියදමක් නොවෙයි. පසුගියවර දැයට කිරුළ තිබුණේ අනුරාධපුරයේ පසුගාමී ප්‍රදේශයක් වන ඔයාමඩුවේ දී. මේ ප්‍රදේශයේ කැඩුණු බිඳුණු පාරවල් අලුත්වැඩියා වුණේ නව මාර්ග ඉදිවුණේ දැයට කිරුළ නිසා. මේවා සංවර්ධනයේ ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි ඉදි වූ ගොඩනැඟිලි කිසිවක් නිශ්ප්‍රයෝජනවත්ව තබන්නේ නැහැ. ප්‍රදේශයේ අවශ්‍යතා සඳහා ‍ෙයදවෙනවා. ඒ නිසා මේ වැනි ව්‍යාපෘති හොඳ නැහැ.

ජනතාවට වැඩක් නැහැ නාස්තිකාර වියදම් කියලා කියන්නේ දේශපාලන වෛරක්කාරකමට මිසක් සැබෑ හැඟීමෙන් නොවෙයි. විපක්‍ෂයේ කාර්යය භාරය විය යුත්තේ මේ විදිහට පදනම් විරහිත දේවල් ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීම නොවෙයි සාධාරණ විවේචනාත්මක ප්‍රවේශයක් සහිතව කටයුතු කිරීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා