අලුත් පා‍‍‍ෙරන් ලෝකයක්

අලුත් පා‍‍‍ෙරන් ලෝකයක්

සමනළ අඩවියේ පිහිටි අඩවිකන්ද ගම්මානය හෙළ රජ දවස සිට පැවත එන ඓතිහාසික ගම්මානයන්ගෙන් එකකි.

කුරුවිට පසුකරමින් එරත්න මාර්ගයේ සිරිපා කරුණා කරන්නට යන බැතිමතුන්ට යෑමට සිදුවන්නේද මේ අඩවිකන්ද පසුකරගෙනය.

එරත්න ශ්‍රී පාද කැකුණහින්න හංදියේ සිට අඩවිකන්ද පසුකරගෙන සිරිපාගමට යාවෙන්නේ එම මර්ගයයි.

රුපියල් කෝටි තුනහමාරක් වැයකරමින් එම මාර්ගයේ පාලම් බෝක්කු සියල්ල ඉදිකර අඩි 14ක පළලට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීමට රජය පසුගියදා පියවර ගත්තේ අඩවිකන්දේ ජනතාවගේ කාලාන්තරයක් තිස්සේ පැවැති අපේක්‍ෂාවන් මල්ඵල ගන්වමිනි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව, රජය ක්‍රියාත්මක කරනු ලබන දෙවැනි ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙයි.

කාලාන්තරයක් තිස්සේ වන ලැහැබ අතරින් දියපාරක් මෙන් තිබූ අඩිපාරක් වාහන ගමනාගමනයට සුදුසු පරිදි ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් යුතුව ඉදිකරමින් සිටින අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.

ගමහදා රට හදන මහින්ද චින්තන ඉදිරිදැක්මට සමගාමීව ආරම්භ කර තිබූ එම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අඩවිකන්ද ගම්වාසීන් සිය අදහස් දැක්වූයේ රජයට සහ මෙම ක්‍රියාවට දායක වන සෑම කෙනකුටම ඔවුන්ගේ කෘතඥතාපූර්වක භාවය ද පළ කරමිනි.

සමනළ අඩවියේ ඉඳීකටුපානට මායිම් වෙන අඩවිකන්ද ගම්මානයට අලුතෙන් මාර්ගයක් ඉදිකරදීම වෙනුවෙන් ඒ සඳහා උරදුන් සැමට පිං පමුණුවන බවද ගම්වාසීහු අප සමඟ පැවසූහ.

දැන් සපත්තු කැඩෙන්නේ නෑ

එරත්න මහ විදුහලේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහන් කවීන්

පාර හදන්ට කලින් අපි ඉස්කෝලේ ගියේ හරිම අමාරුවෙන්. මඩවලට සපත්තු කැඩෙනවා. මඩ ගෑවිලා පංතියට ගියාම ළමයි විහිළු කරනවා. සෙරෙප්පු දාගෙන යන අයට ඉස්කෝලෙත් තහනම් කරලායි තිබෙන්නේ. මායි මල්ලියි උදේ 5.30 විතර පයින් යන්ට පටන් ගන්නවා. කි. මි. 5.6 ක් විතර පයින් ගිහින් කැකුණහින්න හන්දියේ ඉඳලා ත්‍රීවිල් එකක යනවා.

දැන් අපට සපත්තු දාගෙන ඇඳුම් කිලුටු කරගන්නේ නැතුව ඉස්කෝලේ යන්ට පුළුවන්.

ඉස්සරනම් ඉස්කෝලේ ගියේ ගලෙන් ගලට පැන පැන අතු – ඉති අතරින් රිංගාගෙන හුඟාක් අමාරුවෙන්.

ලෙඩ්ඩු අරන් ගියේ ලී මැස්සේ

ජී. ඩබ්. සුගතදාස

උපන්දා සිට අඩවිකන්දේ තමයි ඉන්නේ. අපේ හත්මුතු පරම්පරාවත් අඩවිකන්දේම ඇත්තන්.

මෑතක් වනතුරුම අප ගමන් බිමන් ගියේ පයින්. හදිසියේ ලෙඩෙක් වුණත් ගෙනියන්නේ ලී මැස්සේ.

හරිහමන් පාරක් තොටක් අපේ ගමට තිබුණේම නැහැ. හදිසියේ ලෙඩ්ඩු ලී මැස්සේ ගෙන යන අවස්ථාවල අතරමගදී අන්තරාවෙලාත් තිබෙනවා.

මේ පැත්තේ කිතුල් මදිනවානේ. ඉතින් කිතුල් ගහකින් ඇද වැටෙන කෙනෙකු ලී මැස්සේ ගෙනියන කොට ලෙඩාට අසාධ්‍ය වෙනවා. මෑත කාලයේ අප දැනුවත්ව දෙදෙනෙක් අතරමගදී මැරුණා.

දැන් පාර හැදෙනවා.

ඉතාමත් හොඳයි සන්තෝසේ කියලා නිමක් කරන්ට බැහැ. මේ වැඩේට මුල් වුණු හැමටම පිං දෙනවා.

ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ විශාලයි

රත්නපුර අන්තර් ගම්මාන ඩී. කලාපයේ සභාපති පී. එල්. සමරවීර ලේකම්ගේ

එරත්න ශ්‍රී පාද කැකුණහින්නේ සිට සිරිපාගම ගුරුළුවාන දක්වා කිලෝමීටර් 5 1/2 ක් 6 ක් පමණ අලුතෙන් මාර්ගය හැදෙනවා. මාර්ගයේ සියලුම බෝක්කු ඉදිකරනවා. ඒ අනුව බෝක්කු ප්‍රමාණය 9 ක් වෙනවා.

පාර අඩි 14 ක් පළලයි. අඟල් 5 ක් ඝනකමට කොන්ක්‍රීට් අතුරනවා.

අඩවිකන්ද මාර්ගය ඉදිකිරීමෙන් ගම්වැසියන් වශයෙන් අපටත් රටේ ආර්ථිකයටත් ලැබෙන ප්‍රතිලාභ විශාලයි. මාර්ගය අලුතෙන් ඉදිකිරීමට පෙර මුලින්ම තිබුණේ අඩි පාරක්. ගලින්ගලට පැනලායි ගමන් කළේ.

තේ, හකුරු, කෙසෙල්, පුවක් මේ ගම්මානවල ආදායම් මාර්ගයි. අප දන්නා කාලයේ කිතුල් ගස් වලින් වැටිලා ජීවිත හානි දෙකක් සිදුවුණා.

පාර හැදෙන්නට පටන්ගත්තාට පස්සේ දැන් ස්ථිර ගෙවල් හැදෙන්ට පටන් අරන්. දැනටමත් තේ දළු සහ අනෙකුත් නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් ඇවිත්. පාර හදලා අවසන්වූ තැන් දක්වා වාහන එනවා.

කළයුතු සංවර්ධන ව්‍යාපෘතිය තෝරාගත්තේත් ගම්වාසීන් වන අප විසින්මයි. ගමේ සම්පත් දායකත්වයත් ලබාගෙන ගම්වාසීන් සැවොම එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘතිය නිමකරනවා.

ගමක් එලිය වෙන්නේ, ඒ ගමට පාරක් තිබුණොත් විතරයි. මේ පාරෙන් කොපමණ ආර්ථික ප්‍රතිලාභ තිබෙනවාද කීවොත් ඉස්සර රුපියල් 25000කටවත් විකුණාගන්ට බැරිව තිබූ අපේ ගමේ ඉඩම් අක්කරය දැන් ලක්ෂ 4 ක්, 5 ක් දක්වා ඉහළ ගිහින්.

මේ මාර්ගය වැඩ නිමවුණාට පසුව කුරුවිට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක වාහන ගමනාගමනයට හැකි විදියට සම්බන්ධ වෙනවා. කුරුවිට ප්‍රාදේශීය සභාවත්, රත්නපුර ප්‍රාදේශීය සභාවත් දෙක එකට යාවෙනවා. ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ගම්මාන සංවර්ධන වැඩසටහන් ඉතාමත් ඵලදායී හා කාලෝචිත මෙන්ම සාර්ථකම ව්‍යාපෘතියක් බව කියා සිටිනවා.

ගමට හොඳ කලක් යාවි

බී. කලාපයේ සභාපති ඒ. ප්‍රේමදාස

අප දන්නා කාලයක සිට මේ වගේ ව්‍යාපෘතියක් ආවේ පළමුවැනි වතාවටයි. රටේ පොදු සංවර්ධනය ආණ්ඩුවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් හෝ, මන්ත්‍රීවරුන් හෝ විසින් කළ යුතුයි කියන අදහස මේ ව්‍යාපෘතියෙන් ජනතාවගෙන් දුරු වුණා.

අපේ ගමේ ඕනෑ එපාකම් අප විසින්ම සකස් කර ගත යුතුයි කියන අදහස මේ ව්‍යාපෘතිය නිසා ගම්වාසීන්ට දැන් තේරෙනවා.

ඉස්සර රටේ වැඩ කෙරෙැණේ ඉහළ සිට පහළටනේ. සංවර්ධන වැඩ කටයුතු තීරණය කරන්නේ කොළඹින්. මේ ව්‍යාපෘතිය ඒක කණපිට පෙරළුවා.

ගමේ අයට ගමට ඕන දේ තෝරාගෙන ගමේ අය විසින්ම වුවමනාවෙවන් ඉටුකර ගැනීමයි මේ ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ. ඒක ඉතාමත් සාර්ථක බව අපේ පාර හදපු හැටියෙන්ම පේනවා.

කුරුවිට සිට පල්ලේකන්ද මාර්ගය කිලෝ මීටර් 6.00 කට වැඩි ප්‍රමාණයක් අප මේ මාර්ග ව්‍යාපෘතිය යටතේ කොන්ක්‍රීට් කරනවා.

පදිංචි කරුවන්ගෙන් 80% ක්ම ප්‍රජාදායකත්වය ලබා දෙනවා. බෝක්කු 23 ක් හදනවා. පැති බැමි 5 ක් බඳිනවා.

මේ මාර්ගය වැඩ නිමවීමෙන් ඇහැලියගොඩ කුරුවිට ප්‍රාදේශීය සභා දෙකත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකත් එකට යාවෙනවා.

ලොකුම ලොකු ආශිර්වාදයක්

කුරුවිට ප්‍රාදේශීය සභාපති ප්‍රේමරත්න මල්කැකුළ

අන්තර් ගම්මාන වැඩසටහන අපට ලොකුම ලොකු ආශිර්වාදයක්. අපේ කොට්ඨාසය කලාප අටකට බෙදලා අන්තර්ගම්මාන වැඩ සටහන් ක්‍රියාත්මක ‍ෙවනවා. මේ යටතේ රුපියල් කෝටි විසි එකක් අපට ලැබෙනවා.

ගමට රුපියල් කෝටි 20 ක් සහ ප්‍රාදේශීය සභාවේ ආයතනික සංවර්ධනයට තවත් රුපියල් කෝටියක් ලැබෙනවා.

ප්‍රාදේශීය සභාව, යාබද ප්‍රාදේශීය සභාවන් සමඟ මේ ව්‍යාපෘතියෙන් එකට යාවෙනවා.

එය ගම්මාන සංවර්ධනයට ලොකු පිටුවහලක්. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවේ ආයතනික සංවර්ධනයට ලැබෙන ආධාර අපට ලොකු සම්පතක්.

අද නගරයේ ආලෝකය නඩත්තුවට වීදි ලාම්පු සේවාවට අප යොදා ගන්නේ මේ ව්‍යාපෘතියෙන් ලැබුණු ආධාරයක් වූ ත්‍රීරෝද රථයයි.

ගමේ අයට ඕන විදිහට ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි

දිස්ත්‍රික් ඉංජිනේරු නිලන්ත මදුරාවල

මේ ව්‍යාපෘති සියල්ලම ජනතාවගේ ව්‍යාපෘති විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. අප කරන්නේ ඔවුනට කරගැනීමට බැරි කොටස ඉටුකර දීම පමණයි.

සෑම ඉදිකිරීමක්ම ගුණාත්මක බවෙන් හා ප්‍රමාණාත්මකභාවයෙන් ඉහළයි. කුරුවිට අන්තර් ගම්මාන වැඩසටහනට පක්ෂ විපක්ෂ සියලුම ජනයා නියෝජිතයන්ගේ උපරිම සහාය ලැබෙනවා.

ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා නිසි පරිදි අපව මෙහෙයවනවා.

අප සියලුදෙනා එකම කණ්ඩායමක් හැටියට කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීම නිසා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවුණා.

ව්‍යාපෘතිය සාර්ථකව නිමකරනවා

ව්‍යපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස්. කේ. ලියනගේ

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙන දෙවැනි ප්‍රජා සංවර්ධන හා ජීවන මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉතාමත් ඵලදායි වැඩසටහනක් ලෙස අන්තර් ගම්මාන වැඩසටහනක් පෙන්වා දිය හැකිය.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රාදේශීය සභා බලප්‍රදේශ 4 ක ආරම්භ කළා. පසුව මෙය අනෙකුත් කොට්ඨාසවලටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස, මොනරාගල, සියඹලාණ්ඩුව, රත්නපුර, කුරුවිට සහ බදුල්ලේ, පස්සර ප්‍රාදේශීය සභා 4 ක සමාරම්භක නියමු ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක කරනවා.

බදුල්ලේ හල්දුම්මුල්ල, හම්බන්තොට , කටුවන, මොනරාගල මඩුල්ල, පොළොන්නරුව, මැදිරිගිරිය, රත්නපුර, කලවාන සහ කෑගල්ල දැරණියගල, යන ‍ෙකාට්ඨාසවලත් ඉදිරියේදී අන්තර් ගම්මාන වැඩසටහන ක්‍රියාවට නංවනවා.

වසර 4 කට වැඩි කාලයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙය ආරම්භ වන්නේ 2009 වසරේදීය. 2014 වසරේදී අවසන් කිරීමට නියමිත අතර මෙය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවැති සියලු බාධා ඉවත්කර ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා