මඩුකන්දේ වන්නි සූර්ය මංගල්‍යය

මඩුකන්දේ වන්නි සූර්ය මංගල්‍යය

අවුරුදු 30ක ත්‍රස්තවාදී යුද්ධයෙන් පසු මඩුකන්ද ඇතුළු වව්නියාවේ මෙන්ම උතුරු පළාතේ ද ගම්වාසීන් අලුත් බලාපොරොත්තු ඇතුව අලුත් ජීවිතයක් ආරම්භ කර ඇත. කාලයක් තිස්සේ කැඩී දුර්වලව තිබූ මහා මාර්ග, අඩි 40 කට වඩා කාපට් කරන ලද දියුණු මහා මාර්ග බවට රජයෙන් දියුණු කර ඇති අතර අධ්‍යාපනය ඇතුළු අනෙකුත් මූලික පහසුකම් සියල්ලම යාවත්කාලීන වී ඇත.

එමෙන්ම ගම්මුන් විසින් සුපුරුදු කෘෂිකාර්මික ජන ජීවිතය නව ප්‍රබෝධයක් අත්පත් කර ගෙන ඇති අතර වැව් හා වාරි ප්‍රතිසංස්කරණ සමඟ වී ගොවිතැන ඉතාම සාර්ථක අන්දමින් දියුණු කරගෙන ඇත.

කාලෙකට පසු විශාල වී අස්වැන්නක් මෙම ගම්මුන් සතුව ඇත. මෙලෙස සංවර්ධනයේ නැවුම් බලාපොරොත්තු සමඟ වව්නියාවේ සියලුම ජාතීන් ඒකාබද්ධව මඩුකන්ද සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන අප්‍රේල් 22 දා ඒකාබද්ධ අවුරුදු උත්සවයක් පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති අතර “වන්නි සූර්ය මංගල්‍යය” ලෙස මෙම අවුරුදු උත්සවය නම් කර ඇත. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනී ජනයා කවදත් වන්නියේ සහෝදරත්වයෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් වේ. එම සහෝදරත්වය යළිත් ශක්තිමත් කර ගැනීමට මෙතුළින් ගම්වාසීන් විසින් උත්සාහ කරයි.

මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්්ථානයේ පරිවේණාධිපති ආනන්ද හාමුදුරුවන්ගේ උපදේශකත්වයෙන් වව්නියා දිසාපති චාල්ස් මහත්මිය හා වව්නියා ප්‍රාදේ්ශීය ලේකම් ජානක මහතාගේ සංවිධායකත්වයෙන් හා මඩුකන්ද ගම්වාසීන්ගේ දායකත්වයෙන් පැරැණි සිරිත් හා සම්ප්‍රදාය අනුව මෙම අවුරුදු උත්සවය සූදානම් කර ඇත.

මේ සඳහා මඩුකන්ද සංස්කෘතික මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගෙන ඇති අතර එම සංස්කෘතික මධ්‍යස්ථානය මේ සඳහා නවීකරණය කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විශේෂ ප්‍රමුඛතාවක් ලබා දුනි.

මඩුකන්ද දළදා විහාරය

එක්දහස් නවසිය වසරේ මුල් භාගයේ පමණ වව්නියාවේ ආරම්භ කරන ලද ප්‍රමුඛ පෙළේ පාඨශාලාවක් වන මඩුකන්ද විද්‍යාලය මෙම සංස්කෘතික මධ්‍යස්්ථානය සඳහා නවීකරණය කර යොදා ගෙන ඇති අතර ප්‍රදේශයේ දරුවන්ගේ කලා ශිල්ප හා සෞන්දර්යාත්මක කටයුතු වල සංවර්ධනය සඳහා ඉමහත් පිටි වහලක් මෙම මධ්‍යස්්ථානයෙන් ලැබේ. මෙනිසාම මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සහභාගි වේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලුම ජාතීන්ට තමන්ගේ ජීවිතවලට නැවුම් ආකාරයකින් යළි නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ලොකු දායකත්වයක් ලැබෙන අතර ශක්තිමත් සංස්කෘතික මංගල්‍යයක් හැටියට වව්නියාව වැනි පළාතක ජාතීන් අතර සාමය හා සමගිය ඇති කර ගැනීමට ශක්තිමත් දායකත්වයක් ද වනු ඇත. යුද්ධයෙන්, බෝම්බවලින් නිරන්තරයෙන් බයෙන්, සැකෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වූ වව්නියා ජනතාවට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නව සාමය ලැබීමත් සමඟ අලුත් බලාපොරොත්තු හා ප්‍රාර්ථනා ඇතිව සාමකාමී නිදහස් ජීවිතයක් ගත කිරීම සඳහා හොඳ පරිසරයක් සකස් වී ඇත‍.

වන්නි සූර්ය මංගල්‍යය මඩුකන්ද ගම්වාසීන් ඒ සඳහා ශක්තියක් කර ගනු ඇත.

මඩුකන්ද වැව

ඒ ශක්තිමත් බැම්ම ජාතීන් අතර සමගියට මෙන්ම දුෂ්කර ගම්මානවල ජනතාව ශක්තිමත් සංවර්ධනයක කොටස්කරුවන් වීම සඳහා ද වන බලාපොරොත්තුවක් වනු ඇත.

ඒ අනුව දුෂ්කර ගම්මාන, සීමා ගම්මාන ලංකාවේ සිතියමෙන් ද ඈත් වී අප ජීවිත කාලය තුළ බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ මට්ටමක සංවර්ධනයක් ඇති වී නව ශ්‍රී ලාංකික දේශයක එක් සහෝදර කැලක් මෙන් ජීවත් වීම සඳහා සියලු ගම්වාසීන්ට මෙවන් උත්සව ආදර්ශයක්, මඟ පෙන්වීමක් වනු ඇත.

මඩුකන්ද නව නිල නිවාස

මෙයින් වඩාත් වැදගත් වන්නේ ලැබෙන සම්පත් ප්‍රමාණය නොවේ. එකී සංසිද්ධිය හරහා ගමට ලැබෙන අවධානයයි. මෙම අවධානය අංශ දෙකකින් දැකිය හැකිය.

පළමුවැන්න ගමේ පවත්නා සැබෑ තත්ත්වය හරහා කෙරෙන අවශ්‍යතා අධ්‍යයනයයි. දෙවැන්න ජාතික ශක්තීන් ය. උදාහරණයක් ලෙස මඩුකන්ද ගමේ වැව සංවර්ධන උපායක් ලෙස තක්සේරු කිරීම වැනි කාර්යයන් ය. ඊට අමතරව ගමට ලැබෙන සම්පත් ඉතා වැදගත් වේ.

ගමේ නව පරපුර ඉන් උත්තේජනයක් ලබයි නම් ගමට එය මහත් ශක්තියක් වේ. මේ අරමුණ මඩුකන්දට පමණක් සීමා වූවක් නොවේ.

මඩුකන්ද වැනි පිටිසර ගම්වලින් බිහි වූ සාර්ථක පෞරුෂයන් හරහා ගමේ උවමනාවන් පෙළ ගැස්වීම තුළ ජාතික සැලසුම්කරණයට ලැබෙන එළිය ගැන වඩාත් අවධානය යොමු කිරීම මෙහිලා දැඩිව අවධානය කෙරෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා