ලක්ෂ 300ක හොර බඩු ගෙනා කන්ටේනර 2ක් රේගු දැලේ

ලක්ෂ 300ක හොර බඩු ගෙනා කන්ටේනර 2ක් රේගු දැලේ

රජයට අහිමි වන්නට ගිය බදු මුදල රු.ලක්ෂ 100ක්

අවසරය ප්ලාස්ටික් දොරවල් ගේන්න

තිබුණේ නිමි ඇඳුම්, සපත්තු, ටයිල් වර්ග

ප්ලාස්ටික් දොරවල් ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 300 කට අධික නිමි ඇඳුම් ඇතුළු භාණ්ඩ රැගත් කන්ටේනර් 2 ක් ඊයේ (20) රේගු අත්අඩංගුවට පත්විය.

චීනයේ සිට මෙම කන්ටේනර් දෙක ආනයනය කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. මෙම කන්ටේනර් දෙක වෙනුවෙන් රජයට අහිමි වන්නට ගිය බදු මුදල රුපියල් ලක්ෂ 100 කි.

අංක 251/2/1, දෙවන මහල, මේන් සිටි මාකර්ට්, කොළඹ 11 ලිපිනයට මෙම කන්ටේනර් දෙක එවා ඇති අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි සමාගමක් හරහා කන්ටේනර් දෙක ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. අඩි 20 කන්ටේනර් දෙක ඇතුළත කාන්තා පිරිමි කලිසම්, ටීෂර්ට්, ඇඩිඩාස් වර්ගයේ සපත්තු, මුළුතැන්ගෙයට අල්ලන ටයිල් වර්ග, ප්‍රදර්ශනාගාරවල තබන ඩමීස් සහ සුබපැතුම් කාඩ්පත් කොළවර්ග ඇතුළු භාණ්ඩ තිබූ අතර සූක්ෂම ලෙස මෙම භාණ්ඩ අසුරා තිබිණි.

මෙම ආනයනකරු ගෙන්වු කන්ටේනර් දෙකෙන් එකකට රුපියල් 2,15799 ක බදු මුදලක් ගෙවා තිබිණි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත රේගු අධ්‍යක්ෂ කේ. රංජන් මහතාගේ අධීක්ෂණය යටතේ කන්ටේනර් දෙක ඊයේ (20) ග්‍රේලයින් 2 බහාලුම් අංගණයේ දී විවෘත කළේය.

රේගු අධිකාරි එන්. සී. ලියනගේ, ඒ. පී. එන්. ඒ. අබේරත්න, සහකාර රේගු අධිකාරී අයි. එන්. ඒකනායක, එච්. ගුරුගේ කේ. එල්. පී. කුමාර, ජේ. ජේ. අබේසිරිවර්ධන, එච්. එම්. කේ. පී. හේරත්, එල්. එම්. කුමාරපේලි, පී. වයි. ඒ. එස්. සී. කුමාරසිංහ, ඒ. ඒ. ජේ. ආර්. කහවත්ත, ආර්. එම්. යු. එල්. රත්නායක මහත්වරු පරීක්ෂණ මෙහෙයවූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා