ඊළමකට ශ්‍රී ලංකාවේ ඉඩක් නෑ

ඊළමකට ශ්‍රී ලංකාවේ ඉඩක් නෑ

අවශ්‍ය නම් තමිල්නාඩුවේ පිහිටුවා ගන්න

ආරක්ෂක ලේකම්ගෙන් කරුණානිධිට පිළිතුරු

තමිල් ඊළමක් අවශ්‍ය නම් තමිල්නාඩු ප්‍රාන්තයේ එය පිහිටුවා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් කිසිදු ඉඩක් නැති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමැති එම්.කරුණානිධි මෙරට ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ඉකුත් දිනවල කර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා මේ අදහස් පළ කරයි.

ශ්‍රී ලංකාවට වඩා වැඩි දමිළ ජනගහණයක් තමිල්නාඩුවේ වෙසෙන බව පෙන්වාදෙන ඒ මහතා ඒ අනුව ඊළාම් රාජ්‍යයක් එහි බිහි කළ හැකි බව සඳහන් කරයි.

ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු මෙරට සිංහල දෙමළ ඇතුළු සියලු ජාතීන් එකමුතුව සාමයෙන් ජීවත් වන අතර සාමකාමීව සංවර්ධනය කරා අප ඉදිරියට යන මේ අවස්ථාවේ දෙමළ ජනයා තුළ අනවශ්‍ය උසිගැන්වීම් සිදු නොකරන ලෙසද හෙතෙම අවධාරණය කරයි.

ඊළාම් රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන්නේ කොටි හිතවාදී ත්‍රස්ත කණ්ඩායමට අයත් වන්නෝ වෙති. ශ්‍රී ලංකාව ස්වාධීන රටක් වන අතර මෙහි ඊළාම් රාජ්‍යයක් අවශ්‍යතාව පිළිබඳ කිසිවකු කතා කරන්නේ නම් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙසින් අප විසින් සලකනු ලබන බවද හෙතෙම කියයි.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාව විනාශ කරන්නට උත්සාහ කරන්නන්ගෙන් එක් අයෙකු ලෙස මොහු (කරුණානිධි මහතා) පෙන්වා දිය හැකි බවද මෙවැනි පහත් දේශපාලන ක්‍රියාදාමයකට මොහු පෙළඹීම කනගාටුදායක කරුණක් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා