වතුකරයේ සියලු පවුල්වලට සංවර්ධන ප්‍රතිලාභ

වතුකරයේ සියලු පවුල්වලට සංවර්ධන ප්‍රතිලාභ

2013 දී නිවාස විදුලිය ජලය

ඉදිරි වසර වනවිට වතුකරයේ සියලුම පවුල් සඳහා නිවාස, ජලය සහ විදුලිය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව රජය අවධාරණය කරයි.

රජයේ සියලු සංවර්ධන ප්‍රතිලාභ මේ වනවිට වතුකරයේ ජනතාවට ද හිමිවන අතර තවදුරටත් යටිතල පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වතුකරයේ සියලුම පාසැල්වලට වතුකරයෙන් බිහිවූ උපාධිධාරීන් ලබාදී වතුකරයේම පාසැල් අධ්‍යාපනය නංවාලීමටද රජය ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් කරන ඇමැතිවරයා වතුකරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ආදී පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ඉන්දිය රජයේ සහාය ලැබීම ශක්තියක් බවද කියාසිටී.

බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේ ශ්‍රී ලංකාවේ දැනට සංචාරයක නිරත වන ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුළු ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මධ්‍යම පළාතට පැමිණීම නිමිත්තෙන් හැටන් ඩී.කේ.ඩබ්ලිව් ශාලාවේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේ වතුකරයේ සෑම පවුලකටම එළදෙනෙකු බැඟින් ලබාදී පශූ සම්පත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය දැනටමත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.

ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජනයා දැකබලා ගැනීමට ඉන්දිය පාර්ලිමේන්තු නියෝජිතයින් පැමිණීම ඔවුනට කළ ගෞරවයක් බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා එකම පවුලක් ලෙස වතුකරයේ ජනයා ශ්‍රී ලංකාව තුළ ශත වර්ෂ ගණනාවක් සමඟියෙන් ජීවත්වන බවද අවධාරණය කළේය.

වතුකරයේ උපාධිධාරීන්ට රැකියා ලබාදෙමින් තරුණ පරපුරට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමටද රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවද දිවි නැඟුම සහ ගම නැඟුම වැඩසටහන් යටතේ වතුකරයේ විශාල සංවර්ධන පෙරළියක් සිදුවෙමින් තිබෙන බවද කීවේය.

දික්ඔය, දරවල සහ වනරාජා වතු නිවාස සංකීර්ණය නිරීක්ෂණයටද ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායම එක්වූහ.

තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම, පශූ සම්පත් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොන්ඩමන්, ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා