දඹුල්ල ප්‍රකාශිත නගරයක් පුදබිම් නීති යෙදීම ගැටලුවක්

දඹුල්ල ප්‍රකාශිත නගරයක් පුදබිම් නීති යෙදීම ගැටලුවක්

- අගමැති

දඹුල්ල රාජමහා විහාරය අයත් ප්‍රදේශය පළාත් පාලන හා නිවාස අමාත්‍යවරයා ලෙසින් ආර්. ප්‍රේමදාස මහතා විසින් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව පූජා භූමි පනත යටතේ සලකා බැලෙන නියමයන් දඹුල්ල සිද්ධස්ථානයට අයත් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමේ ගැටලු ඇතැයි අග්‍රාමාත්‍ය බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති දි. මු. ජයරත්න මහතා පවසයි.

1981 මාර්තු 17 දා දඹුල්ල රාජමහා විහාරය අයත් පෙදෙස නගර හා ග්‍රාම නිර්මාණ ආඥාා පනතේ 6 (2) (අ) වගන්තියෙන් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්නා දෙයි. අගමැතිවරයා මේ ප්‍රකාශය කළේ දඹුල්ල සිද්ධස්ථානයට ආසන්න ප්‍රදේශයක බෞද්ධ නොවන ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට විරුද්ධව භික්ෂූන් වහන්සේ පිරිසක් ආරම්භ කළ උද්ඝෝෂණය ගැන ඊයේ (20) විසුම්පායේදී කරුණු පැහැදිලි කරමිනි.

සිද්ධියට සම්බන්ධ ආගමික මධ්‍යස්ථානය විරෝධතාකරුවන් දක්වන පරිදි පල්ලියක් නොව කුඩා යාඥා කුටියකි. මෙවැනි යාඥා ස්ථාන පාර්ලිමේන්තුවද ඇතුළු රජයේ ආයතන හා පෞද්ගලික කාර්යාල තුළද ඇත. සිද්ධියට සම්බන්ධ ආගමික මධ්‍යස්ථානයද වසර දහයකට ආසන්න කාලයක් මේ ස්ථානයේ පැවතී ඇත.

කාලයක් තිස්සේ පවත්වාගෙන යන ආගමික ස්ථානයකට හදිසියේ විරෝධයක් එල්ල කිරීම ගැන හා ඒ සඳහා ව්‍යාජ කරුණු දැක්වීම ගැන අගමැතිවරයා විමතිය පළ කළේය.

ජාතීන් වශයෙන් හා ආගමික වශයෙන් විවිධ බෙදීම් ඇති කොට ජාතික සමගිය පලුදු කිරීමේ උත්සාහයක් පවතින බවත් එවැනි උත්සාහයන් කිහිපයක් ගැන තොරතුරු ස්ථාන කිහිපයකින් වාර්තා වූ බවත් මෙම සිද්ධිය ද එවැනි තවත් සිදුවීමක් විය හැකි බවත් අගමැතිවරයා කීය.

අදාළ විෂය බාර ඇමැතිවරයා ලෙස තමා මෙම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කතා බහ කළ බව අගමැතිවරයා සදහන් කළේය. ඒ අනුව මුස්ලිම් ආගමික යාඥා මධ්‍යස්ථානය දඹුල්ල පූජා භූමියෙන් පිටතට ගෙන යෑමට කටයුතු කළ බවත් නීතිය හා සාමය රැකීමට පොලිසියට උපදෙස් දුන් බවත් සඳහන් කළ ඔහු මෙහිදී තමන්ට සහාය දුන් සියලුම ආගම්වල පූජ්‍ය පූජක නායක කාරකාදීන්ට කෘතඥතාව පළ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා