ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගන්නට ගිය බන්ධනාගාර නියාමක හසුවෙයි

රැඳවියකුගේ මෙහෙයවීමෙන්

ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගන්නට ගිය බන්ධනාගාර නියාමක හසුවෙයි

රුපියල් ලක්‍ෂ 50ක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ මෙහෙයවීමට අනුව නිවිතිගල ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගැනීමට ගිය බන්ධනාගාර නියාමකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කප්පම් සිද්ධිය ගැන පුළුල් පරීක්‍ෂණයක් නිවිතිගල පොලිසිය විසින් පවත්වයි. කුරුවිට බන්ධනාගාරයේ රාජකාරී කරන මෙම නියාමකවරයා සතුව තිබූ දුරකථන සිම් කාඩ් පත් පහක් ද පොලිසියට හමුවී තිබේ. නිවිතිගල නගරයේ දී සිදුවූ මෙම කප්පම් ගැනීමට තැත් කිරීම ගැන තවත් අය සම්බන්ධ දැයි නිවිතිගල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

පසුගිය අලුත් අවුරුදු සමයේ දී මෙම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු නිවිතිගල ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලා ඇත. රුපියල් දස දහසක මුදලක් බැංකු ගිනුමකට බැර කරන ලෙස දුරකථනයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයා එම මුදල ගිණුමට දමා ඇත. පසුව තවත් රුපියල් ලක්‍ෂ දෙකක් රැගෙන නිවිතිගල බැංකුවක් අසලට එන ලෙස දුරකථන ඇමතුම් ලබා දී තිබේ. පොලිසිය එහිදී උපක්‍රම අනුගමනය කරමින් සැකකරු නිවිතිගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩි වශයෙන් රාත්‍රි සේවා මුරවල යෙදෙන අයෙක් බව පරීක්‍ෂණවලදී සොයා ගෙන තිබේ.

බන්ධනාගාර ගතව සිටින සැකකරු හා මෙම නියාමකයා අතර මිත්‍රත්වය බන්ධනාගාරයේ දී ගොඩ නැඟී ඇති බව පරීක්‍ෂණවලදී හෙළි විය. කප්පම් මුදල ලැබුණේ නම් බන්ධනාගාර නියාමකට සියයට 25 ක් ද බන්ධනාගාරගතව සිටින සැකකරුට ඉතිරි සියයට 75 ද බෙදී යන අයුරින් සියල්ල සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.

වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා