මුද්‍රණය සඳහා

 
රත්රන් සුරය ‘කොඩිවිනයක්’ යැයි සිතා මුදලාලි කුණු කූඩයට විසි කරලා

රත්රන් සුරය ‘කොඩිවිනයක්’ යැයි සිතා මුදලාලි කුණු කූඩයට විසි කරලා

ආරියපාල බාස් උන්නැහැ කීවම ඉංගිරිය පැත්තේ කව්රුත් දන්නවා. ඔහු මේසෙන් බාස් කෙනෙක්. වයස අවුරුදු පනස් පහක් විතර ඇති. පදිංචිය ඉංගිරියේ ගැලිලෙගම. ඔහු තමන්ගේ ආරක්ෂාවට කියල කළු නූලක් ගැට ගැසූ රන් සුරයක් පැළඳුවා. පවුම් එකහමාරක් විතර ඇති.

දවසක් ආරියපාල උන්නැහැට හිතවතකුගේ අවමගුල් ගෙදරකට යන්න ඕන වුණා. සවස 7 ට විතර ඇති. තමන් ගෙල බැදි රන්සුරය ගලවා තමා නිතර යන එන ඉංගිරිය නගරයේ කඩයක බුදු පහන ළඟින් සුරැකිව තැබුවා. මේක දාගෙන ගියොත් ඒකෙ බලය නැති වෙයි කියලා එහෙම කළේ.

ඉතින් මළ ගෙදර ඉදන් ආපහු එනකොට රාත්‍රි 11 ට විතර ඇති. ඒ වෙන කොට නගරයේ කඩ වහලා. උදේට සුරේ ගන්න පුළුවන් නේ කියලා හිතලා ගෙදර ගියා. ඒ වෙන කොට බාස් උන්නැහැ රැකියාව කරමින් හිටියේ හොරණ ප්‍රදේශයේ. දෛනික රැකියාවට යන්න උදේම නිවෙසින් පිට වෙලා.

ඉංගිරිය නගරයට ආවේ සුරයත් අරගෙන යන්න. ඒ වෙන කොට කඩය ඇරලා නෑ. හවසට ගන්නවා ගිහින් කෝල් එකක් දෙනවා කියල හිතාගෙන වැඩට ගියා. දුරකතන ඇමතුමක් දෙන්න අමතක වුණා.

සවස 5.30 ට පමණ ඉංගිරියේ තම හිතවතාගේ කඩේට ආවේ තමන් සුරැකිව තිබූ රන් සුරය ගන්න. මගේ රන්සුරය මෙතැනින් තියල ගියා ඒක ගන්න ආවේ කීවා. මුදලාලි කටත් ඇරගෙනම බලාහිටියා. ඒක තමුන්ගෙ ද මුදලාලි ඇසුවා. ඇයි මොකද වුණේ මම හිතුවේ කවුරුහරි කොඩිවිනයක් කරලා ගෙනත් දාලා ගිහින් කියලා. මං ඒක කුණු බක්කියට දැම්මා.

බාස් උන්නැහැ වහාම කුණු බාල්දිය පැත්තට දුවල ගියා. ආ ප්‍රාදේශීය සභාවෙන් මේ දැන් කුණු අරන් ගියා. බාස් උන්නැහැට තරු පෙනුණා. වහාම කුණු ගෙන යන ට්‍රැක්ටර් රියැදුරා හමුවී කතාව කීවා. තිබුණේ නෑ. ඔහුගේ කෙටි පිළිතුර විය. අපරාදේ මගේ රත්තරන් සුරේ ඔහු තමාටම කියා ගත්තා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]