එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලිය අද ඇරැඹේ

එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලිය අද ඇරැඹේ

හොල්සිම් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක ස්ටෙපාන් හියුබර් මහතා එෆ්.ඒ.කුසලානය පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රන්ජිත් රුද්‍රිගු මහතාට බාරදුන් අයුරු.
ඡායාරූපය :- විමල් කරුණාතිලක

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන හොල්සිම් එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වේ.

රට පුරා පාපන්දු ලීග් 32කින් කණ්ඩායම් 132ක් සහභාගිවන මේ තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ.

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට තරග 138ක් ඇතුළත්වන අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 16ක් එක්වේ. එම කණ්ඩායම් 16ට ප්‍රබලතම ක්‍රීඩා සමාජ වන රත්නම්, නාවික, බ්ලූස්ටාර්, සිවිල් ආරක්ෂක, පොලිසිය, යුද හමුදාව, නිව් යංග්ස්, දොන් බොස්කෝ දැනටමත් සුදුසුකම් ලබා ඇත.

එම කණ්ඩායම් අට පසුගිය වසරේ එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීය.

මෙයට අමතරව රිනවුන්, සෝන්ඩර්ස්, ගමනාගමන මණ්ඩලය, කොළඹ පාපන්දු පිල, ඕල්ඩ් බෙන්ස්, ජාවාලේන් හා මාතර ක්‍රීඩා සමාජය ද තරගාවලියේ සිවුවැනි අදියරේ සිට එක්වේ.

එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියට වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් කොළඹ පාපන්දු ලීගයෙන් එක්වෙති. එම කණ්ඩායම් ගණන 24 කි. බේරුවල පාපන්දු ලීගයෙන් කණ්ඩායම් 13ක් එක්වන අතර හැටන් ලීගයෙන් කණ්ඩායම් 9 ක් හා මහනුවරින් කණ්ඩායම් 7ක් එක්වේ.

නාවලපිටිය පාපන්දු ලීගයේ ‘ලයන්ස් පිල’ මෙවර අලුතින්ම එක්වන කණ්ඩායමකි.

දශක කිහිපයක පැවැති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ක්‍රීඩා පිටියට එක් නොවූ යාපනය, පේදුරුතුඩුව, මඩකලපුව, මන්නාරම, වවුනියාව ආදී ප්‍රදේශවලින්ද මෙවර තරගාවලියට කණ්ඩායම් එක්ව සිටීම විශේෂත්වයකි.

පසුගිය වසරේ මේ තරගාවලියේ සූරතාව යුද හමුදාව දිනාගත් අතර දොන් බොස්කෝ පිල අනුශූරතාව දිනා ගත්තේ ය.

වසර 1949දී ශ්‍රී ලංකාවේ ආරම්භ වූ එෆ්.ඒ.කුසලාන තරගාවලියේ ශූරතාව 21 වතාවක් ජයග්‍රහණය කිරීමට සෝන්ඩර්ස් පිල සමත්විය. රත්නම් 6 වතාවක්, රිනවුන් 5 වතාවක් එෆ්.ඒ.ශූරතාවට හිමිකම් කීහ.

සෝන්ඩර්ස් හිටපු සුපිරි ක්‍රීඩක පී.ඩී.සිරිසේන වසර 1960 දී අවසන් තරගයේ ගෝල් 6 ක් ලැබීම හා එම වසරේ ගෝල් 24ක් ලබා ගැනීම තවමත් නොබිදී පවතින වාර්තාවකි. එෆ්.ඒ.කුසලාන පාපන්දු ශූරයන්ට රුපියල් ලක්ෂ 7ක් අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක් හා අවසන් පූර්ව වටයේ කණ්ඩායම්වලට රුපියල් 50000ක් බැගින් පිරිනැමේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා