ශ්‍රී ලංකාව-පිලිපීනය අද ගැටෙති

ආසියානු ෆයිව්නේෂන් රගර් පළමු තැනට

ශ්‍රී ලංකාව-පිලිපීනය අද ගැටෙති

ආසියානු ෆයිව්නේෂන් රගර් තරගාවලියේ පළමු කොටසේ සූරයන් වීම උදෙසා පැවැත්වෙන ශ්‍රී ලංකා - පිලිපීන තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ කෙරේ.

මැනිලා නුවර රිසාල් අනුස්මරණ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට පිවිසෙන යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඉතා හොඳ මානසික තත්ත්වයකින් පසුවේ.

පළමු තරගයේදී චීන තායිපේ පිල ලකුණු 36 - 8 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල ප්‍රබල සිංගප්පූරුව ලකුණු 35 - 10 කින් පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා පිල යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පස්දෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

පිලිපීන පිලට එරට ක්‍රීඩකයන් කිහිපදෙනකු සිටින අතර ඔස්ට්‍රේලියානු හා ජපාන ජාතික ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා කරති.

කණ්ඩායම් දෙකේම දක්‍ෂතා මේ තරගාවලියේදී එක හා සමාන බැවින් අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරක මතය වී තිබේ. පිලිපීන පිල වෙතින් ලකුණු 37 - 20 කින් සිංගප්පූරුව ද, ලකුණු 34 - 12 කින් චීන තායිපේ පිලද පරාජයට පත්වුණි.

ශ්‍රී ලංකා රගර් පිලේ පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පිල් ගි‍්‍රනින් මහතා පවසන්නේ පිලිපීන පිල දැනට සිටින දක්‍ෂතම කණ්ඩායමක් වුවද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සාර්ථක අභියෝගයක් එල්ල කරනු ඇති බවය. මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්‍ෂතා පිළිබඳ ආඩම්බර වන බවද ඒ මහතා පැවැසීය.

CSN වෙතින් සජීව විකාශයක්

ශ්‍රී ලංකා - පිලිපීන රගර් තරගය අද පස්වරු 2.30 සිට සී. එස්. එන්. රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදු තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා