නීති සිසුවියට හොර වෛද්‍ය සහතිකයක් ලබාදුන් සැකකරු අත්අඩංගුවට

නීති සිසුවියට හොර වෛද්‍ය සහතිකයක් ලබාදුන් සැකකරු අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ නීති ශිෂ්‍යාවකට මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ගේ නමින් ව්‍යාජ නිලමුද්‍රාවක් යොදා ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබා දුන් පුද්ගලයකු මහනුවර කොට්ඨාස වංචා හා විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මහරෝහලේ සේවය කරන අදාළ විශේෂඥ වෛද්‍යවරියගෙන් ලද පැමිණිල්ලක් මත මෙහි පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර මහ රෝහල අසල දුරකථන ඇමතුම්හලක් පවත්වාගෙන යන සැකකරු එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සම¼ඟ සමීප සබඳතා පවත්වා ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අදාළ නීති ශිෂ්‍යාවගේ විශ්වවිද්‍යාල විභාග කටයුතු සඳහා සියයට අසූවක පැමිණීම නොමැතිවීම නිසා මේ ව්‍යාජ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කැර ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම යන මහත්වරුන් ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස වංචා හා විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් අනිල් (29095) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා