මා පිය හරසර මැද බ්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයන් සම්මානයට

මා පිය හරසර මැද බ්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයන් සම්මානයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟළුම් අපනයන සමූහය වන බ්‍රැන්ඩික්ස් සිය සාමාජිකයින්ගේ කුසලතාවයන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන “බ්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු අතර මෙහිදී සාමාජික සාමාජිකාවෝ 39 දෙනෙකු සහ සුපරීක්ෂකවරු සය දෙනෙක් ගරු බුහුමන් ලැබූහ.

සේවා කාර්ය සාධනය සහ සමාගම වෙත දැක් වු දායකත්වය පරීක්ෂා කොට සම්මාන සඳහා සාමාජිකයින් දැඩි පරිශ්‍රමයකින් තෝරා ගනු ලැබූ අතර ජයග්‍රාහකයින්ට සම්මාන සමඟ සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය තුළ අධ්‍යයන චාරිකා පිරිනැමිණි.

සම්මාන උළෙලෙහි විශේෂ අවස්ථාවක් වූයේ සම්මානලාභීන්ට සිය නිල ඇඳුමේ පැලඳිය හැකි “ වසරේ විශිෂ්ටයා” පදක්කම් ඔවුන්ගේ මාපියන් හෝ සැමියා/බිරිය සුරතින් පැලඳවීමයි. බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයන් පන්දහසකගේ සහභාගිත්වය ද සමගින් සංගීත සැඳෑවකින් ද රසවත් වු විචිත්‍රවත් බ්‍රැන්ඩික්ස් සම්මාන උළෙල තවත් ජව සම්පන්න වූයේ බ්‍රැන්ඩික්ස් රසදිය කුසලානය – 2012 පිරිමි සහ කාන්තා අවසන් මහා තරග හේතුවෙනි.

සම්මාන ප්‍රදානෝත්සවයේදී බ්‍රැන්ඩික්ස් සාමාජිකාවකට හිමි පදක්කම ඇයගේ මව විසින් ඇයට පලඳවමින්.

මෙම වොලිබෝල් තරගාවලිය දිවයින පුරා විසිරී තිබෙන බ්‍රැන්ඩික්ස් ආයතනයන්හි සේවය කරන තරුණ සාමාජික සාමාජිකාවන්ගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනා ගනිමින් ඔවුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන අන්තර් – ආයතනික තරගාවලියකි. එමෙන්ම සමුහයේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන කාර්මික නිලධාරින් ඇගයීම උදෙසා හඳුන්වා දුන් “මෙක් චැලෙන්ජ්” හි ජයග්‍රාහී කණ්ඩායම් වල කුසලතාවන් දැක්මක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

2012 වසරේ පැවති “බ්‍රැන්ඩික්ස් වසරේ විශිෂ්ටයා” සම්මාන උළෙලෙහි තවත් විශේෂත්වයක් වූයේ බ්‍රැන්ඩික්ස් හි එතෙර කර්මාන්ත ශාලාවන්හි සේවය කරන සාමාජිකයින් ද මෙවර සම්මාන උළෙල (EOY 2012) සඳහා ඇතුළත් කර ගැනීමය. බ්‍රැන්ඩික්ස් ඇපරල් ඉන්ඩියා, ඕෂන් ඉන්ඩියා, සීඩ්ස් ඉන්ටිමේට් ඇපරල් ඉන්ඩියා සහ බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් – බංග්ලාදේශ් යන කර්මාන්තශාලාවල සේවය කරන සාමාජික සාමාජිකාවෝ මෙවර සම්මානයට පාත්‍ර වුහ.

40,000 කට අධික සාමාජික පිරිසකට සෘජු රැකියා අවස්ථා මෙන්ම ඊට සමාන සංඛ්‍යාවකට වක්‍ර රැකියා අවස්ථාවන්ද බිහිකර ඇති බ්‍රැන්ඩික්ස් සමූහය 2011 වසරේ ජූලි මාසයේ දී සිංගප්පූරුවේ පැවැති සී. එම්. ඕ. ආසියානු වෙළෙඳ නාම හා අලවිකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලෙහිදී “ආසියාවේ විශිෂ්ටතම සේවා යෝජක නාමය” ලෙසින් බුහුමනට පාත්‍ර වු අතර මෑතකදී සිදුකළ ජාතික සමීක්ෂණයකින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් අතුරින් මුල් පෙළේ සේවා යෝජක නාමයන් පහ අතර ස්ථානගතව සිටින බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා