බොර දියේ මාළු බාන්නෝ !

බොර දියේ මාළු බාන්නෝ !

මාළුවකු ඉල්ලා වැඳ වැටෙන මිනිසාට බිලී පිත්තක් දෙන්නැ’යි කතාවක් චීන ජනශ්‍රැතියේ තිබේ. ආහාර නො ව ජීවන මාර්ගයක් සැපයීම මිනිසාට වැදගත් වන බව ඉන් කියැ වේ. එහෙත් වළ බොර කොට එහි මාළු බාන්නැ’ යි කියන කතාවක් කොතැනක වත් නැත. එය අයහපත් කාලකන්නි ක්‍රියාවක් නිසා කිසිවකු අනුමත නො කරනු ඇත. තත්ත්වය කුමක් වුව ශ්‍රී ලංකාවේ දේශපාලනයට නම්; ඉහත කතාව මනාව ගැළපේ. අපේ දේශපාලකයන් ගේ වැඩි දෙනා බොර දියේ මාළු බාන්නෝ ය.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානය සමඟ එකතු වී යාපනේ මැයි රැලියක් පවත්වන්නේ මන් ද? එය බොර දියේ මාළු බෑමක් නො වේ ද? මේ ඉතා සංවේදී අවස්ථාවෙකි. එක අතකින් ඊළාම් රාජ්‍යයක් පිළිබඳ කතිකාවක් තමිල්නාඩුවේ පවතී. තව අතෙකින් ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තැනින් – තැන දකින්නට ලැබේ. තවත් අතකින් අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන් බලා සිටී. ඒ අතර එජාපය ටී.එන්.ඒ සමඟ හවුලේ මැයි රැලිය පවත්වති.

යාපනේ එජාප මැයි රැලිය ඔස්සේ දෙමළ ජනතාවට ලැබෙන පණිවුඩය කුමක් ද? දෙමළ ඩයස්පෝරාවට ලැබෙන පණිවුඩය කුමක් ද? තමිල්නාඩුවට ලැබෙන පණිවුඩය කුමක් ද? අන්තර්ජාතික ප්‍රජාවට ලැබෙන පණිවුඩය කුමක් ද? රනිල් වික්‍රමසිංහ මහතා වෑයම් කරනුයේ ත්‍රස්තවාදයට පණ දීමට ය. බෙදුම්වාදය නැවත ඇවිලීමට ය. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අබමල් රේණුවක සහයෝගයක් එක්සත් ජාතික පක්‍ෂයෙන් නො ලැබිණි. ඔවුන් අතින් සිදු වූයේ යුද්්ධය හා එහි ජයග්‍රහණ හෑල්ලුවට ලක් වීම පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නඩයට මේ රට ගැන හෝ ජාතිය ගැන හෝ අපේ ශිෂ්ටාචාරය ගැන හෝ කැක්කුමක් නැත. ඔවුන් ගේ උත්සාහය වන්නේ ජාතිය අවදානම් අවස්ථාවක පසු වන විට එහි වාසිය තමන් වෙත ඇද ගැනීම ය. තමිල්නාඩුවේ කරුණානිධි මහත්මයා ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවන බවට වහසි බස් දොඩයි. එජාපයේ වික්‍රමසිංහ කණ්ඩායම කරනුයේ ඒ සඳහා දර දිය ඇදීම ය. ඒ අතින් බලන විට සජිත් ප්‍රේමදාස මහතා කෙතරම් ප්‍රගතිශීලී මනුෂ්‍යයකු දැ’ යි ජනතාව කල්පනා කරන්නට පුළුවන.

බොර දියේ මාළු බෑම අපේ හුඟ දෙනකුට හුරු පුරුදු ය. ෆොන්සේකා මහතා ජනාධිපති තරගයට ඉදිරිපත් වී රට පුරා සංචාරය කරත් දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අත්තනගල්ලේ හොරගොල්ල වලව්වේ සිට ඔහු පිළිගත්තාය. එය බොර දියේ මාළු බෑමක් නො වේ ද? මැතිනියට අවශ්‍ය වූයේ තම පක්ෂයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම නො වේ ද? මේවා මහජනතාව තේරුම් ගත යුතු ය. විශේෂයෙන් ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් තේරුම් ගත යුතු ය.

බලය ලබා ගැනීම සඳහා රට, ජාතිය පමණක් නො ව තම පරපුර පවා පාවා දෙන අය අප අතර සිටිති. වික්‍රමසිංහ මහතා ලෝකය වටේ යන්නේ රටට හා ජාතියට එරෙහි ව කේලාම් කීමට ය. ජිනීවා සමුළුවට පෙර ඔහු ද ඔහු ගේ ගෝල බාලයෝ ද ඒ කාර්යය නො පිරිහෙලා ඉටු කළ හ. ඔහුගේ සහායට මාධ්‍ය නඩයක් හා එන්.ජී.ඕ නඩයක් ද උන්හ. මේ සියලු දෙනා ම ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කළහ. විදේශීය ආයතනවලට අසත්‍ය තොරතුරු ලබා දුන්හ. මෙහි හානිය රටට හා ජනතාවට ය.

ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මැතිනිය ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ මෙහි දෙමළ ජනයා ගේ ජීවන තත්ත්වය ගැන සොයා බැලූ හ. මේ පිරිස ඉන්දීය අගමැතිවරයා විවේචනය කළෝ ද? නැත. ඉන්දීය ලෝක් සභාව විවේචනය කළෝ ද? නැත. ඉන්දීය දේශපාලකයෝ බොර දියේ මාළු බෑමට නො යති. කල දුටු කළ වළ ඉස ගැනීමට නො යති. සූෂ්මා මැතිනිය නියම රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක ලෙස ශ්‍රී ලංකාවට පැමිණ මෙහි පවතින සත්‍ය තොරතුරු ඉන්දීය ලෝක් සභාවට ඉදිරිපත් කළා ය. සූෂ්මා මැතිනිය ගෙන් අපේ විපක්ෂය ආදර්ශයන් ලබා ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන්නේ යැයි කියනු ලබන ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියා කලාපය මේ සියල්ලට වඩා දරුණු ය. අනර්ථකාරී ය. ඔවුන් දැන් කටයුතු කරනුයේ ජනතාව ගේ සතුරන් ලෙසට ය. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන යහපත් වැඩසටහන් පරාජය කිරීම ඔවුන් ගේ ඉලක්කය වී තිබේ. ආණ්ඩුවේ කිසිදු වැඩසටහනකට ඔවුන්ගෙන් අනුමැතියක් නැත. ආණ්ඩුව ඌන උපයෝගිතා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාඩු ලබන ආයතන පවරා ගත්තේ ය.

මාස කිහිපයක් තුළ පැලවත්ත, සෙවණගල වැනි කර්මාන්ත ශාලා ලාභ ලබන්නට පටන්ගෙන තිබේ. එහෙත් එජාපය හා ජවිපෙය මෙය විවේචනය කළේ ආණ්ඩුව පෞද්ගලික අංශය නැති කරනවා යන චෝදනාව ජාත්‍යන්තරයට ගෙන යමින් ය. මේ රට හදන්නට නම් පළමුව ශ්‍රී ලාංකේය ජාතියක් බිහි කළ යුතු ය. ඔවුන් පළමුව මවු බිමට හා දෙවනුව ජාතියට ආදරය කළ යුතු ය. එවිට ජාතික හැඟීමෙන් කටයුතු කරන එකමුතු රටක් බිහි වනු ඇත. කුළල් කා ගන්නා දේශපාලනයත්, බොර දියේ මාළු බාන ප්‍රතිපත්තියත් අපේ නායකයන් ගේ චින්තනයෙන් ඉවත් කළ යුතු ය. මේ සඳහා විශාල පිටුබලයක් ජන මාධ්‍යයට ලබා දිය හැකි ය. එබඳු ජාතික කාර්යයකට යොමු වන්නැ’ යි අපි ජන මාධ්‍යයෙන් ද ඉල්ලා සිටිමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා