මුද්‍රණය සඳහා

 
ජනාධිපතිතුමා සියලු ආගම්වලට සමානව සලකනවා

ජනාධිපතිතුමා සියලු ආගම්වලට සමානව සලකනවා

නිමල් සිරිපාල ද සිල්වා
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති

සුගිය දා දඹුල්ලේ දී ඇති වූ සිදුවීමත් එළැඹෙන මැයි දිනය හා වෙනත් දේශපාලන කරුණු පිළිබඳත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

* දඹුල්ල සිදුවීම වැනි සිදුවීම් නිසා ආගමික සහජීවනය හා ජාතීන් අතර සමගියට විශාල බාධාවක් ඇතිව තිබෙනවා. මේ තත්ත්වය කළමනාකරණයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැද්ද?

මා පිළිගන්නවා මේ විදිහේ තත්ත්වයන් නිසා ආගම් හා ජාතීන් අතර විශාල පිරිසකගේ දුරස්වීම සිදුවෙනවා. ඒත් මේ දේවල් රටේ තිරසාර පැවැත්මට කිසිසේත්ම සුදුසු දෙයක් විදිහට හඳුන්වන්න බැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ අන්තවාදී අදහස් ඇත්තෙක් හෝ ජාතිවාදියෙක් නොවෙයි. ඔහු සියලු ජාතීන්ට සමාන ලෙස සලකන සමානාත්මතාව ඉහළින් අගයන නායකයෙක්. ඔහු හැමෝටම සාධාරණ විසැදුම් ලබාදිය හැකි ඒ පිළිබඳ පරිණත භාවයක් ඇති නායකයෙක්.

කොහොමත් ආගමික හා ජාතීන් අතර ප්‍රශ්න ඇති වූ විට ජනතාව ඉතා සංවේදී හා ආවේගශීලී ලෙසයි කටයුතු කරන්නේ. එය මනුෂ්‍ය ස්වභාවය. වගකිව යුත්තන් විදිහට අප කටයුතු කළ යුත්තේ මේ තත්ත්වය සමනය වන විදිහටයි. දඹුල්ලේ වැනි සිදුවීම් දුරදිග ගියොත් ජාතිවාදී කෝලාහල පවා ඇතිවෙන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය සහාය හා විසඳුම් ලබාදීමට උපදෙස් ලබාදී තිබෙනවා.

* මුස්ලිම් ඇමැතිවරු හා මුස්ලිම් දේශපාලන පක්ෂ මේ සිදුවීම නිසා ආණ්ඩුව සමඟ අර්බුද ඇති කරගන්න තැනකට තල්ලු වී තිබෙනවා. ආණ්ඩුවේ වගකිව යුතු ඇමැතිවරයකු විදිහට ඔබේ අදහස මොන වගේද?

මේ විදිහේ සිදුවීම්වලදී ආවේගශීලී තත්ත්වයන් ඇතිවීම ස්වභාවිකයි. ඒත් ගැටලුව නිරාකරණය වූ පසු ඇති වූ උණුසුම් තත්ත්වයද නිරාකරණය වේවි. මා දකින විදිහට මෙය එතරම් දුරදිග යන තත්ත්වයක් නොවෙයි. එහෙත් විපක්ෂයේ ඇතැම් කොටස් මේ වෙලාවේදී බොරදියේ මාළු බෑමකට සැරසෙන්න පුළුවන්. මේ තත්ත්වයත් ජනතාව තේරුම් ගන්න ඕනෑ.

* රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් ඇතැයි මහබැංකු වාර්තාවේ සඳහන් වෙනවා. ඒත් සමාජගතව බලද්දි එවැනි තත්ත්වයක් දක්නට නැහැ. මේ ගැන ඔබේ අදහස මොන වගේද?

මා නම් ඔබේ තර්කය පිළිගන්නේ නැහැ. මා ඇමැතිවරයකු විදිහට රට පුරා සංචාරය කරනවා. කොළඹ, රජරට, කඳුරට රුහුණ කියා භේදයක් නැහැ. සියලු ප්‍රදේශවල සංවර්ධනය දක්නට තිබෙනවා. සංචාරක කර්මාන්තයේ අති විශාල දියුණුවක් දක්නට තිබෙනවා. එදා සංචාරක හෝටල්වල මැස්සෝ වැහුවා. ඒත් අද සංචාරක ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් දක්නට තිබෙනවා. අද සංචාරකයන්ට හෝටල් කාමර නොමැති තත්ත්වයකුයි දක්නට තිබෙන්නේ. මේ සංචාරක ආකර්ශනය නිසා මෙරට ආර්ථිකයේ විශාල වර්ධනයක් දක්නට තිබෙනවා. මෙය ආර්ථික වර්ධනයේ මූලික අංගයක් විදියට දක්වන්න පුළුවන්.

ආර්ථිකයේ වර්ධන වේගයත් ඉතාමත් ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. 8%ක ආර්ථික වර්ධන වේගය පුරා අවුරුදු දෙකක් ස්ථාවරව පවත්වාගෙන යාමට පුළුවන් වුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙය ඉදිරි ආර්ථික ස්ථාවරත්වයේ මූලික අවස්ථාවක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. අද අඩු ආදයම්ලාභියා පවා කෙසේ හෝ මෝටර් සයිකලයක් ,ත්‍රිරෝද රථයක් මිලදී ගන්නවා. එයත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතරට ගමන් කිරීමක් විදිහට හඳුන්වා දීමට පුළුවන්.

මහාමාර්ග ඉදිවීම ප්‍රවාහන පද්ධතිය දියුණුවීම ආදි සියල්ලම ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල විදිහටයි මා දකින්නේ. එපමණක් නොවෙයි දිවි නැඟුම වැනි වැඩපිළිවෙළ නිසා ග්‍රාමීය ආර්ථිකයේ වර්ධනීය හා ස්ථාවර තත්ත්වයක් දක්නට තිබෙනවා. කෘෂි ආර්ථික රටාව ශක්තිමත් කරන අතර කාර්මික ආර්ථික රටාව ශක්තිමත් කිරීම තමයි සිදු කළ යුත්තේ. ආණ්ඩුව ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එපමණක් නොවෙයි විරැකියා පිළිබඳ ප්‍රශ්නය ද විශාල ලෙස අඩු වී තිබෙනවා. මෙයත් ආර්ථික වර්ධනය පිළිබඳ සුබදායි ලක්ෂණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

* මැයි දිනය වෙනුවෙන් එජාපයේ කණ්ඩායම් දෙක වෙන වෙනම මැයි සමරු පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ බෙදීම් පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

මෙමඟින් එජාපයේ බෙදීම පැහැදිලි ලෙස දැක ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. මෙවර මැයි රැලි දෙකක් පවත්වන එජාපය ලබන අවුරුද්දේදි මැයි රැලි හතරක් නැති නම් හයක් පැවැත්වීමටත් ඉඩ තිබෙනවා. මේ සියලු දේ මඟින් එජාපයේ බෙදීම හා වෙන්වීම පිළිබඳ පැහැදිලි සාධක මතුවෙලා තිබෙනවා. සමහර විට තවත් කාලයක් ගතවෙද්දී මැයි රැළියක් පැවැත්වීමට එජාපයක් ඉතිරිවන එකකුත් නැති වේවි. ඒ තරමටම එජාපය කියන විශාල පක්ෂය අතිවිශාල ආගාධයකට ගමන් කරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් අද දෙකඩ වෙලා කණ්ඩායම් දෙක රැලි දෙකක් පෙලපාළි දෙකක් පවත්වනවා. විපක්ෂයේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකම අද බෙදී ගොස් විනාශ වී ඇත්තේ මේ විදිහටයි. මැයි පෙලපාළියක් නිසි විදිහට යාමට බැරි තරමට විපක්ෂය දුර්වලවීම ගැන අපත් කනගාටු වෙනවා.

* ඔබ ඒ විදිහේ තර්කයක් මතු කළාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ හවුල්කරුවන් වු සමසමාජ, කොමියුනිස්ට් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා වමේ පක්ෂ වෙනම මැයි රැලියක් හා පෙලපාළියක් පවත්වනවා. මෙය ආණ්ඩුවේ බෙදීමක් විදිහටත් අර්ථකථනය කරන්න පුළුවන්ද?

නැහැ. ඒ අර්ථකථනය සම්පූර්ණයෙන්ම වැරැදියි. එජාපයේ බෙදීම් හා ජවිපෙ බෙදීම්වලට මේ තත්ත්වය සමාන කරන්න බැහැ. මෙතැන තිබෙන්නේ විශේෂ තත්ත්වයන් දෙකක්. ආණ්ඩුව නියෝජනය කරන වමේ පක්ෂ වෙනම අනන්‍යතාවක් ඇති හා සන්ධානයේ ඔවුන්ගේ අනන්‍යතාව ඇතිව කටයුතු කරන පිරිසක්. ඔවුන්ට අවශ්‍ය නම් තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ඇතිව කටයුතු කළ හැකියි. එහෙත් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ දෙකඩවීමක් කණ්ඩායම් වශයෙන් රැලි පැවැත්වීමත් වෙනස් තත්ත්වයක්.

* පසුගිය කාලයේදී පැහැර ගැනීම් හා අතුරුදහන් වීම් පිළිබඳ කතාබහ යළිත් මතුව තිබෙනවා. මේ පිළිබඳ ආණ්ඩුවටත් ඇතැම් කණ්ඩායම් චෝදනා එල්ල කරනවා. මේ චෝදනා කොතෙක් දුරට සාධාරණද?

මේ පිළිබඳ විවිධ මත තිබෙනවා. එහෙත් ආණ්ඩුව මේ සිදුවීම් හා සම්බන්ධකර ගැනීමට කටයුතු කිරීම සාධාරණ දෙයක් නොවෙයි. මරණ බිය තුරන් කළ ජනතාවට නිදහස ලබා දුන් ආණ්ඩුවක් මරණ බිය ඇති කිරීමට කටයුතු කරන්නේ නැහැ. මේ විදිහේ පැහැර ගැනීම් අතුරුදහන් වීම් සිදුවෙනවා නම් ඒවා වැළැක්වීමට රජය කටයුතු කළ යුතුයි. ජනතාව ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් විදිහටයි අප සලකන්නේ.

* ජනමාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය මෙරට නොමැති බවට විවිධ අංශ ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?

මේ දේවල්වල කිසිදු පදනමක් නැහැ. ජනමාධ්‍ය නිදහස නැහැ කියා ඔබ කියන්නේ කුමන පදනමකින්ද? අද ජනමාධ්‍ය නිදහස ඉතාමත් ඉහළින් තහවුරු වෙලා තිබෙනවා. රූපවාහිනි, පුවත්පත්, ගුවන් විදුලි ගත්තහම බහුතරයක් ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිට තමයි තම තමන්ගේ ප්‍රවෘත්ති විශේෂාංග පළ කරන්නේ. ඒත් ඔවුන්ට තම තමන්ගේ දේශපාලන ස්ථාවරය ප්‍රතිවිරුද්ධ වුණා කියලා ආණ්ඩුව පහර දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිනම් මානව හිමිකම් නොමැතිනම් මේ තරම් ඉහළ මාධ්‍ය නිදහසක් ජනතාවට ත්, මාධ්‍යවේදින්ට ත් භුක්ති විඳීමට පුළුවන්කම ලැබෙන්නේ නෑ.

මැතිවරණ පැවැත්වීමේදීත් ඉතාමත් සාධාරණ ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ. හැඳුනුම්පත් අනිවාර්ය කිරීම නිසා මැතිවරණ ක්‍රමයේ සාධාරණත්වය ඉතාමත් ඉහළින් ආරක්ෂා කිරීමට පුළුවන් වෙලා තිබෙනවා. එජාපය තමයි එදා කටයුතු කළේ මැතිවරණ සිතියම හැකිළීමට. හොර ඡන්ද දැමීමේ ක්‍රමය නීතිගත කළේ එජාපය විසිනුයි. ඒත් මේ ආණ්ඩුව එහෙම කළේ නැහැ. මැතිවරණ ක්‍රමය සාධාරණ හා ජනතාවාදී ක්‍රමයක් බවට පත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් සුරක්ෂිත කළ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සක්‍රීය කළේ මේ ආණ්ඩුව විසිනුයි.

* ජනමතය උරගා බැලීමට යළිත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට අදහස් පළ වෙනවා. මේ අදහස් වල ඇත්තක් තිබෙනවා ද?

රජය එවැනි තීරණයකට එළැඹිලා නැහැ. ඉදිරි දේශපාලනය ගැන අපට අනාවැකි පළ කරන්න බැහැ. ඒත් ඔබ සමඟ මේ සාකච්ඡා කරන මොහොත වන විට ආණ්ඩුව එවැනි තීරණයකට එළැඹිලා නැහැ.

* ජිනීවා සමුළුවෙන් පසු උද්ගත වූ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී තිබෙනවාද?

ජිනීවා නුවර දී ඇතිවුණේ දෙමළ ඩයස් පෝරාවේ කුමන්ත්‍රණවලට මානව හිමිකම් සමුළුවේ රටවල් කිහිපයක් මුලා වීමයි. එමඟින් දෙමළ ඩයස් පෝරාව උත්සහ කළේ මෙරට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමයි. එහෙත් අප මේ තත්ත්වය කල්පනාකාරී ලෙස තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තරය වෙත සත්‍ය තත්ත්වය පෙන්නා ඔවුන් නිසි මඟට ගත යුතුයි. අපගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන අතර ජාත්‍යන්තරය සමඟ එක්ව කටයුතු කළ යුතුයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]