මුද්‍රණය සඳහා

 
ලෝකයම හොල්ලන භූමිකම්පා

ලෝකයම හොල්ලන භූමිකම්පා

භූමිකම්පා අද ඊයේ ඇතිවූවක් නොවේ. එය ඈත අතීතය දක්වා දිව යයි. නමුත් මෑතක සිට භූමිකම්පා ඇතිවීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. එයට හේතු සාධක බොහෝය. ශ්‍රී ලංකාවේ ඇති වූ භූමිකම්පා එමටය. එයින් අපට දැනුණ භූමිකම්පාවලට වඩා නොදැනුණූ භූමිකම්පා වැඩිය. සාමාන්‍ය මිනිසාට දැනෙන්නේ රිච්ටර් තුනට හෝ ඊට වැඩි ගණනක් දැක්වෙන භූ චලන පමණක්ය.

රිච්ටර් තුනට අඩු භූ චලනවලට බල්ලන්, බළලුන්, අශ්වයන්, ගවයන් වැනි සතුන් සංවේදී බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ විශාලම භූමිකම්පාව ඇති වූයේ 1615 වසරේදීය. එදා මිනිස් ජීවිත දෙදාහක් පමණ අහිමි වූ අතර ගෙවල් දොරවල් දෙසීයක් පමණ කැඩී ගොස් ඇත. කොළඹ කොටුව ද කැඩී ගියේය. 1891 සිට අද දක්වා ශ්‍රී ලංකාව තුළ භූමිකම්පා විශාල ප්‍රමාණයක් සිදු වී ඇත. මෑතකදී සිදු වූ භූමිකම්පා එයට නිදසුනකි.

එනම් 2007 ජූලි මස 9 වෙනි දින, 20 වෙනි දින සහ 22 වෙනි දිනයන්හි තිස්සමහරාම සහ බෙරලිහෙළ යන ප්‍රදේශවල ඇතිවූ භූචලන රිච්ටර් පරිමාණ 3.0 ක් සහ 3.5 ක් වශයෙන් වාර්තා වී ඇත. එමෙන්ම ජූලි මස 18 වෙනි දින රිච්ටර් පරිමාණ 5.2 ක විශාල භූමිකම්පාවක් ඇති වූයේ ශ්‍රී ලංකාවට නැඟෙනහිර මුහුදු ප්‍රදේශයේය. 2009 අප්‍රේල් මස 15 වෙනි දින උදේ 8.45 ට පමණ දැනෙන භූමිකම්පාවක් සිදු විය.

එය මහනුවර කුණ්ඩසාල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ ගණනාවකට දැනුණු බව වාර්තා වී ඇත. මේ තත්ත්වය අනුව අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි භයානක තත්ත්වය වටහා ගත හැකිය. මෙවැනි භූමිකම්පා දිගින් දිගට සිදුවන්නේ ශ්‍රී ලංකාව හරහා භූමිකම්පා කලාපයක් පැවතීම නිසා බව භූ® විද්‍යා පිළිබඳ මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා පෙන්වා දී ඇත.

‍ෙමවැනි භූමිකම්පා නිතර නිතර ඇතිවීම නිසා රට තුළ ඉදිකර ඇති විශාල ජලාශවලට මෙන්ම විශාල ගොඩනැගිලිවලට හානි සිදුවීමට ඉඩ ඇත. ජලාශ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. එදා මෙදා තුළ භූ විද්‍යාඥයන් මෙන්ම භූ විද්‍යාව පිළිබඳ දැනුම් ඇති පිරිස් දිගින් දිගට මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳ සෑම මාධ්‍යයක් මගින්ම කරුණු අනාවරණය කළ නමුත් එයින් කිසි ප්‍රයෝජනයක් ගෙන නැත.

එය බීරි අලියාට වීනා වැයීමක් හා සමානය. භූමිකම්පා සිදුවීම වැළැක්විය නොහැකිය. නමුත් කළ යුත්තේ කල්වේලා ඇතිව එයට සරිලන පරිදි පරිසරය සකස් කිරීමය. මෙය සාමාන්‍ය ජනතාවට කළ හැකි දෙයක් නොවේ. එය වගකිවයුත්තන් විසින් කළ යුතුය. නමුත් එය නිසි පරිදි සිදු වී නැති බව පෙනේ. මීට වසර 17 ට පෙර එනම් 1994 මැයි මස 15 වෙනි දින “සිළුමිණ” පුවත්පතට අභාවප්‍රාප්ත භූ විද්‍යා පිළිබඳ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා සමඟ සාකච්ඡා කර “පොළොව සෙලවුණත් නොසැලෙන ගෙවල්” යන සිරස්තලය යටතේ ම විසින් ලියන ලද ලිපිය පිළිබඳ එදා බලධාරීන් සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් කලකට පසු හෝ අද භූමිකම්පාවට ඔරොත්තු දෙන ගොඩනැගිලි තැනීම පිළිබඳ විවිධ මත පළවීම සතුටට කරුණකි. ලෝක භූ තලය එක් බිමක් වශයෙන් තිබී මීට වසර මිලියන දෙසීයකට පමණ පෙර කුට්ටි හයකට කැඩී මහද්වීප සහ ලොකු කුඩා කැබලි එහාට මෙහාට වෙනම වෙනම පාවී (ප්ලාවිත වී) ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කුඩා කැබැල්ලක් ලෙස කැඩී එය විශාල පැලුමක් දිගේ ප්ලාවිත වීම නිසා කුඩා සහ විශාල භූමිකම්පා ඇතිවේ. භූමිකම්පා ඇති වී ඇත්තේ ඉන්දියාවේ බටහිර කඳුවැටිය දිගේය.

එයට සමාන්තරව ඇරැබියන් මහ මූදේ පත්ලේ ඇති පැලුම් දිගේ විහිදී ගොස්ය. මේ ගමනේදී ශ්‍රී‍ ලංකාව කි. මී. 250 ක් පමණ පහළට වයඹ ගිනිකොණ දිශාවට ප්ලාවිත වී තිබෙන බව ඔවුන්ගේ අදහසයි. මෙය මේ වන විට ද සිදුවෙමින් පවතින ක්‍රියාවකි. මෙහි ප්‍රතිඵලය වශයෙන් දැක්විය හැක්කේ විශාල පැලුම් නිසා සමනල වැව කාන්දු වීමයි.

මේ හැර කොත්මලේ ජලාශය ආශ්‍රිතව ඇති යෝධ කුස්තුරවල තිරස්ව අඩි 30 සිට 40 දක්වාත්, සිරස්ව අඩි 10 සිට 20 දක්වාත් චලනය වන බව කොත්මලේ කළ භූ විද්‍යා සමීක්‍ෂණවලදී සිතියම්ගත කිරීමෙන් භූ විද්‍යාඥයන්ට දැන ගැනීමට හැකි වී තිබේ. 1992 ජූනි මාසයේ සිට වටවල ප්‍රදේශයේ ඇති වූ නාය යෑම් ද, ගැඹුරු විභේදවල සක්‍රීය ප්‍රතිඵලයක් බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

සමහර වේලි තනා ඇත්තේ පැලුම් උඩ සහ පැලුම් ආශ්‍රිතවය. භූමිකම්පාවක් ඇතිවන විට මේ පැලුම්වලට එයින් බලපෑම් ඇතිවීමට ඉඩ ඇත. එසේ බලපෑමක් ඇතිවුවහොත් වේලිවල තත්ත්වය ඉතා භයානකය. මහාචාර්ය විතානගේ මහතාගේ පර්යේෂණවලින් සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම මෙන්ම ඊසාන දිග දෙසට මෙන්ම නිරිත දිග දක්වා යෝධ පැලුම් 35 ක් පමණ ඇත. කුඩා පැලුම් දහස් ගණනකි.

මෙයින් විශාලම පැලුම ත්‍රිකුණාමලය වරායෙන් ආරම්භ වී මහවැලි ගඟ දිගේ මහියංගණය, මොනරාගල, හපුතලේ, උඩවලවේ ගඟ දිගේ හම්බන්තොටින් මුහුදට විහිදී ගොස් ඇත. එම පැලුම් සැතපුම් ගණන් පොළොව යටට විහිදී ඇත. ශ්‍රී ලංකාවේ කඳු ප්‍රදේශ හරහා වයඹ, ගිනිකොණ දිසාවට පැලුම් 11 ක් පමණ ඇත. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට, නිල්දණ්ඩාහින්න සහ කටුගස්තොට පිඟාඔය හරහා මහනුවර, ගලහ, නුවරඑළිය දිසාවට සැතපුම් 30 ක් පමණ දිග සැතපුම් 10 ක් පමණ යටට තවත් පැලුම් 10 ක් පමණ ඇත.

මේ අතර ඊසාන දිග සිට නිරිතදිග දක්වා එනම් මීමුරේ, රංගල, තවලන්තැන්න, පුස්සමංකඩ, දූල්කඳුර, කොත්මලේ, පුන්ඩලුඔය, හැටන් හරහා සමනල අඩවිය දක්වා සැතපුම් සිය ගණනක් දිග පැලුම් පිහිටා ඇත.

මේ ශ්‍රේණි දෙකෙන් ශ්‍රී‍ලංකාව කුට්ටිවලට කැඩී ගොස් ඇත. මේ සියල්ල ගුවන් චන්ද්‍රිකා ඡායාරූපවලින් බලාගත හැකිය. වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ වැනි ජලාශවල විශාල හානි සිදුවිය හැකිය. එමනිසා එම ජලාශවල මාපක සවිකර භූ චලන ගැන දැනගත යුතුය. ස්වභාවික දෙයක් සිදුවීමට පෙර සංඥා ලැබෙන නිසා එය බලාගැනීමට මාපක අවශ්‍යය.

එසේ නැතිනම් යම් සිද්ධියක් වූවාට පසු දැනගැනීමෙන් පලක් නැත. දැනට ඉදිකර ඇති විශාල ජලාශ, විශාල ගොඩනැගිලි පිළිබඳ කතා කිරීමෙන් පලක් නැත. ඉදිරි අනාගතයේදී ඉදිකිරීමට බලාපොරොත්තු වන ඉදිකිරීම් භූමිකම්පාවට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කළ යුතුය. මේ පිළිබඳ විසැඳුම් සෙවීමේ කාලය එළඹී ඇත.

ඒ සඳහා පියවරක් ගෙන එයට සරිලන පරිදි පරිසරය සැකසිය යුතුය. එසේ නොවුණහොත් අනාගතයේදී විශාල ජීවිත හානි මෙන්ම දේපොළ හානිවලට මුහුණ දීමට සිදුවේ. මෑත කාලයේ සිට භූමිකම්පා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින නිසා භූමිකම්පාවට ඔරොත්තු දෙන ගොඩනැගිලි, ගෙවල් දොරවල්, ජලාශ වැනි ඉදිකිරීම් සැකසිය යුතුය. එසේම මෙය ජාතික ප්‍රශ්නයක් වශයෙන් සලකා පාසල් මට්ටමේ සිට සියලුම ලක්වැසි ජනතාව දැනුවත් කළ යුතුය.

මේ සඳහා භූ විද්‍යාඥයන්, භූ විද්‍යාව පිළිබඳ දැනුම් ඇති අය, ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම පෙදරේරුවන්, වඩු කාර්මිකයන්ගේ කථිකාවක් ආරම්භ කිරීම කාලෝචිතය. 2004 දෙසැම්බර් මස 26 වෙනි දින සුමාත්‍රා දූපත අසළ මුහුදේ ඇතිවූ රිච්ටර් 9 ක පරිමාණයේ භූමිකම්පාව නිසා අති බිහිසුණු සුනාමි තත්ත්වයක් ඇතිවිය. එයින් මුහුද ගොඩගැලීම නිසා ශ්‍රී ලංකාවේ ජීවිත දහස් ගණනක් අහිමි විය.

ගෙවල් දොරවල් විනාශයට පත් විය. අනාගතයේදී එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාව එයින් මුදාගැනීම සඳහා රජය මගින් සංඥා නලා සවිකරන ලදී. පසුගියදා ඇතිවීමට ගිය සුනාමි අවස්ථාවේ මුහුදුබඩ ජනයාට එමඟින් ලැබුණ සංඥා අනුව වහ වහා එම ස්ථානවලින් ඉවත් විය. මෙය ඉතා හොඳ ක්‍රියාවකි.

සුනාමි නිතර සිදු නොවන නමුත් භූමිකම්පා නිතර නිතර ඇතිවේ. සුනාමි සඳහා කඩිනමින් සංඥා කුලුනු සවිකළ ආකාරයටම රට තුළ නිතර නිතර ඇතිවන භූමිකම්පාවලින් ජනතාව හා ගොඩනැගිලි බේරාදීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk