මුද්‍රණය සඳහා

 
නිවාස සිහින සැබෑ කළ ජන සෙවණ

නිවාස සිහින සැබෑ කළ ජන සෙවණ

“සොව සබ්බ දදෝ භෝති යො දදාති උපස්සයං” වාසස්ථානයක් දන්දීම සියල්ල දන්දීම සේ සැලකිය යුතු යැයි මීට වසර 2600 කට පෙර දේශනා කරන ලද්දේ ගෞතම බුදුන් වහන්සේ විසිනි. එම උදාර පරමාර්ථය වෙනුවෙන් වර්තමානයේදී වැඩිම අවධානයක් යොමුකරනු ලබන්නේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අමාත්‍යාංශය බාරගත්තේ අදින් වසර දෙකකට පෙරදීය. එනම් 2010 වසරේ අප්‍රේල් 26 වෙනිදාය. එම වසර දෙක තුළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සත්‍ය වශයෙන්ම යම් කාර්යභාරයක් රට වෙනුවෙන් කළාද? යන්න සොයා බැලීම කාලෝචිතය. මේ රටේ නිවාස නොමැති පවුල් ලක්ෂ 15 ක් පමණ තමන්ට වාසයට සුදුසු ස්ථිර නිවාස ලැබෙන තුරු මහත් උනන්දුවකින් බලාගෙන සිටිති.

මෙම පවුල්වලට ස්ථිර නිවාස ලබාදීම සඳහා වගකිව යුතු රජයක් ලෙස මැදිහත්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේදී රට හමුවේ තබන ලද “මහින්ද චින්තන ඉදිරි දැක්ම” වැඩසටහන මඟින් පැහැදිලිවම කියා සිටියේය. ඒ අනුව මේ රටේ ජනතාවගේ මෙතෙක් නොවිසැඳුණු ප්‍රධාන ගැටලුවක්ව පැවැති නිවාස ප්‍රශ්නයට ස්ථිරසාර විසැඳුම් ලබාදීමට “ජන සෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම ආරම්භ කෙරිණි.

නිවාස හිමිකමක් ලබමින්...

එහි වගකීම පැවරුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් වෙතය. රටේ ජාතික ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරන අතර අවසන් කාර්තුවේදී පමණක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය 17.3 කි. එය මෑත කාලයේ වැඩිම වර්ධන වේගය ලෙස සැලකේ.

මෙවන් තත්ත්වයක් යටතේ මෙරට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරනු ලබන අමාත්‍යාංශයක් වශයෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හැඳින්වීමට පුළුවනි.  ඒ යටතේ ක්‍රියාත්මක වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, රජයේ කර්මාන්ත ශාලාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, ඕෂන් වීව් සංවර්ධන සමාගම යන ආයතන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රටේ සංවර්ධන සංග්‍රාමයට මේ වනවිට උරදී සිටී.

“ජන සෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන්නේ 2011 වසරේ පෙබරවාරි 16 වෙනි දින කිරුළපන මිහිඳුපුර දීය. කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී දළදා මාලිගාවට එල්ල කරන ලද ප්‍රහාරයෙන් හානි සිදුවු ශ්‍රී දළදා මාලිගාව පසුගිය කාලවලදී පිළිසකර කෙරිණ. නමුත් කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයේ අවසන් සළකුණ මකා දැමීමේ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණේ 2011 ජනවාරි අගය.

දින 37 ක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික රන් ආවුද මණ්ඩපය යළි පිළිසකර කර ශ්‍රී දළදා මාලිගාවට පූජාකිරීම සිදුවිය. කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල් එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා විප්ලවීය වෙනසක් සිදුකළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විප්ලවීය වෙනසක් සිදුකළ යුතු බව ජනාධිපතිතුමා තීරණය කළේය.

ඒ අනුව එම ජනතාවට තමන් පදිංචි ප්‍රදේශවලින්ම වාසස්ථානයට සුදුසු නිවාස ලබාදීමට තීරණය කෙරිණ. එහි එක් වගකීමක් පැවරුණේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරිය වෙතය. අනෙක් වගකීම පැවරුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙතය.

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල් වෙනුවෙන් මෙසේ ජන සෙවණ මහල් නිවාස සංකීර්ණයක් ආරම්භ කෙරුණේ 2011 වසරේ මාර්තු 01 වෙනිදාය. බොරැල්ල වනාතමුල්ල ජන සෙවණ සිංහපුර මහල් නිවාස යෝජනා ක්‍රමය මෙසේ ආරම්භ කරනු ලබන්නේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගිනි. නිවාස 20 කින් යුත් මහල් නිවාස සංකීර්ණ 3 ක් මෙහි ඉදිකෙරෙන අතර ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 150 කි.

“වැවයි, දාගැබයි – ගමයි පන්සලයි” සංකල්පයෙන් ගොඩනැගුණු අපේ ජාතිය ඒ බැඳීමෙන් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට “සසුණෙන් සෙවණ” නිවාස වැඩසටහන හඳුන්වා දෙන ලදී.2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජන සෙවණ සසුණෙන් සෙවණ නිවාස වැඩසටහන 2011 වසරේ මාර්තු 19 වෙනිදා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ගම්පොල ‘මවුන්ට් ටෙම්පල්’ හිදීය.

සුව පහසු මහල් නිවාස....

ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග නැරැඹීමට හැකියාව තිබුණේ ප්‍රේක්ෂකයන් 18,000 කට පමණය. එම ප්‍රමාණය 40,000 දක්වා වැඩිකර තවත් නවීන අංගෝපාංග රාශියක් එකතු කිරීමෙන් ඛෙත්තාරාම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පියවර ගත්තේය. ක්‍රිකට් ලෝකයේ රන්දෙවොල වශයෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයයි.

එම ක්‍රීඩාංගණයට නොදෙවෙනි ආකාරයෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය කර තිබු බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෝ පිළිගත්හ. ප්‍රේක්ෂකයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවකට තරග නැරඹීමට හැකිවන සේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සකස්කර තිබුණේ තවත් නවීන අංගෝපාංග රැසක්ද එක්කරමිනි.

8500 කට අධික පිරිසක් ජීවත්වන මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන්නේ වසර 38 කට පසුවය. මේ සඳහා වැයකෙරුණු මුදල රුපියල් මිලියන 167 කි. 1969 වර්ෂයේදී ඉදිකෙරුණු මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය මෙසේ පුළුල් පිළිසකර කිරීමකට ලක්වන්නේ වසර 42කට පසුවය. “ජන සෙවණ – නගමු පුරවර” වැඩසටහන යටතේ මේ සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 147 කි.

මෙම මහල් නිවාස සංකීර්ණයේ පහළොස් දහසකට ආසන්න පිරිසක් ජීවත් වෙති. රුපියල් මිලියන 10 ක වියදමින් ඉදිකෙරුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කාර්යාලය විවෘත කෙරුණේ 2011 වසරේ අප්‍රේල් 22 වෙනිදාය. රට මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් මුදාගත් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රථමයෙන්ම ඉදිකරන ලද රජයේ කාර්යාලය වන්නේද මෙයයි. “ජන සෙවණ” නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස ජාතික වැඩසටහනට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ප්‍රසාදය පළවීමද විශේෂත්වයකි.

වසර 5 ක් තුළ නිවාස දස ලක්ෂයේ අභියෝගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවත් මෙම නිවාස වැඩසටහන අන් රටවලට ආදර්ශයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන සඳහන් කරයි. මෙම කරුණු අනාවරණය වූයේ විමල් වීරවංශ අමාත්‍යවරයා 2011 වසරේදී කෙන්යාවේ නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ 23 වෙනි සමුළුවට සහභාගී වු අවස්ථාවේදීය. ජන සෙවණ නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රටවල් කිහිපයකම නිවාස අමාත්‍යවරු විමල් වීරවංශ අමාත්‍යවරයාට ප්‍රකාශ කළහ.

නිවසක් ඉදිකර ගැනීමට නම් ඉඩමක්, මුදල් හෝ නිවාස ණය ආධාර අත්‍යවශ්‍ය වේ. මේ කිසිවක් නොමැති කිසිම ණය මුදලක් ලබාගැනීම සඳහා කිසිදු ඇපයක්වත් ලබාදීමට නොහැකි අසරණ පවුල් වෙත නිවාස ලබාදීම ඉතා අගනා ක්‍රියාවකි. රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් නිවසක් මෙම පවුල් වෙත ලබාදීම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදුකරනු ලබන්නේ ඕෂන් විවි සංවර්ධන ආයතනයයි. “ජන සෙවණ” කැපකරු නිවාස වශයෙන් හඳුන්වනු ලබන මෙම නිවාස අසරණ පවුල් වෙත ලබාදෙන්නේ නොමිලේ වීම තවත් විශේෂත්වයකි. මෙහි ප්‍රථම අදියර යටතේ 2011 වසර තුළ පවුල් 10 කට නිවාස 10 ක් ලබාදීමට ඕෂන් විව් සංවර්ධන ආයතනය කටයුතු කර තිබුණි.

ජනතාව පමණක් නොව නිවාස ගැටලුව මේ වනවිට ආදිවාසීන්ද මුහුණදෙන ප්‍රශ්නයක් බවට පත්වී ඇත. මුහුදු ආදිවාසීන් බරපතල නිවාස ගැටලුවකට මුහුණපා තිබෙන නිසා එම ගැටලුවට කඩිනමින් විසැඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුනනේ 2011 වසරේ පැවැති ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයේදීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මුහුදු ආදිවාසීන් වෙනුවෙන් ප්‍රථම ජනසෙවණ නිවාස ගම්මානයේ ඉදිකිරීම් කටයුතු වාකරේදී ආරම්භ කෙරිණ.

2010 වසරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස 6547 ක් ඉදිකිරීමට මැදිහත් වු අතර 2011 වසරේදී නිවාස 29,264 ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත්වීම වාර්තාගත සිදුවීමකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉතිහාසය තුළ රුපියල් මිලියන 5147,02 ක වියදම් කරමින් මෙතරම් නිවාස සංඛ්‍යාවක් ඉදිකළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ රටේ නිවාස ඉදිකර ගැනීමට හැකියාවක් නොමැති දිළිඳු අසරණ පවුල් ‍ෙවනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වැඩිම මුදලක් යෙදවීමට 2011 වසර තුළදී හැකිවීම තවත් විශේෂත්වයකි.

බැංකුවලින් නිවාස ණය ලබා ගැනීමට අවශ්‍ය කරන කොන්දේසි සපුරාලීමට මෙම බහුතරයක් පවුල්වලට නොහැකි වු අතර එම කොන්දේසි ලිහිල් කර මෙම පවුල් වෙනුවෙන් බැංකුවලට ඇපවීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත්වීම 2011 වසරේදී සිදුවූ තවත් විශේෂ සිදුවීමකි. එම නිසා ජනසෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන පිළිබඳ 2011 වසරේ ශේෂ පත්‍රය ගැන සියලු බේද අමතක කොට සැබැවින්ම රටක් හැටියට සතුටු වීමට හැකි බව පවසන්නේ අතිශයෝක්තියකින් නොවේ. එම නිසා 2010 සිට 2012 වසර දක්වා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ශේෂ පත්‍රය ගැන සැබැවින්ම සතුටුවිය හැක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]