මුද්‍රණය සඳහා

 
හමුදාව රඳවා ඇත්තේ අවශ්‍ය තැන්වල පමණයි

හමුදාව රඳවා ඇත්තේ අවශ්‍ය තැන්වල පමණයි

* සියලු ජාතීන් අද සමඟියෙන් සිටිනවා

* ඉන්දියා නියෝජිතයන්ගේ දුර්මත උතුරේ සංචාරයෙන් පසු දුරු වුණා

* කිසිම වැසියකුට මරණ බිය නෑ

රටක හමුදාවක් තියෙන්නෙ බාහිරින් සහ අභ්‍යන්තරව එන තර්ජනවලින් රට ආරක්‍ෂා කර ගැනීමටයි. ඒ අනුව අපේ රටේ හමුදාව රඳවා ඇත්තේ තිබිය යුතු තැන්වල පමණයි. ඒ තැන්වල හමුදාව තබා ඇත්තේ රටේත් ජනතාවගේත් ආරක්‍ෂාවට බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණෙන විට ඔවුන් හිතා හිටියේ මැණික්ෆාම්වල තවමත් ලක්‍ෂ 03ක සරණාගතයන් පිරිසක් රජය සිරකරගෙන සිටින බව යැයි ද ආරක්‍ෂක ලේකම්වරයා කීය.

පසුව ඔවුන් පැමිණ බලද්දීත් ඉතිරි වූ ටික දෙනා ගැන හිතුවේත් ඒ අයුරෙන්ම බව කී ලේකම්වරයා ඔවුන් තම සිතුවිල්ල අනුව සරණාගතයන් පිළිබඳව වැරැදි අවබෝධයක සිටි බව කීය. නමුත් මැණික් ෆාම් කඳවුරට ගිය පසු ඔවුන්ගේ එම දුර්මත නැති වූ බවද හෙතෙම කීය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කීය. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අද රටේ සියලුම ප්‍රදේශවල සමඟියෙන්, සහයෝගයෙන් ජීවත් වෙනවා. විශේෂයෙන් දෙමළ ජනතාව කොළඹ ඇතුළු රටේ සියලුම ප්‍රධාන නගරවල තම දෛනික කටයුතු කරගෙන යනවා.

ඉන්දීය නියෝජිතයන් සිතා සිටි ආකාරයේ තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නෑ. ඒ බව ඔවුන් උතුරට පැමිණි පසු තේරුම් ගත්තා. ඉන්දීය නියෝජිතයන් පිරිස මැණික්ෆාම් ගිය අවස්ථාවේ එහි සිටි සරණාගතයන් පවසා ඇත්තේ අපට දැන් නිදහස තියෙනවා, මරණ බය නෑ, අවශ්‍ය යටිතල පහසුකම් තියෙන බවයි.

ලැබෙන පරිප්පු, සහල් වැනි දේ තව හොඳ මට්ටමෙන් ලැබුණා නම් ඒ ප්‍රමාණවත් බවයි. ඉන්දීය නියෝජිතයන් සරණාගතයන්ගෙන් කොළඹ යන්න නිදහස තියෙනවාද කියා විමසූ විට ඔවුන් කියා ඇත්තේ කොළඹ යන්න නිදහස තියෙනවා. නමුත් වියදම් කරගෙන යන්න මුදල් නැති බව පැවැසූ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]