මුද්‍රණය සඳහා

 
නිළිය නමට හෂිස් එවූ සිද්ධියේ දෙවන සැකකරුත් රිමාන්ඩ්

නිළිය නමට හෂිස් එවූ සිද්ධියේ දෙවන සැකකරුත් රිමාන්ඩ්

ඉංග්‍රීසි සඟරා තුනක මැද කොටස් සූක්ෂම ලෙස කපා සකස් කර ඒ තුළ හෂීස් ග්‍රෑම් 366 යි මිලිග්‍රෑම් 70 ක් සඟවා තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සලය භාර ගැනීමට ගොස් සිටියේ යැයි කියන සිද්ධියේ දෙවන සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (27) නියෝග කළේ ය.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බ්‍රිතාන්‍ය ජාතික ජෝස් කර් විල්ටන් රේගන් නමැත්තෙකි. ඉන්දියාවේ සිට මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ එම පාර්සලය මෙරටදී භාර ගැනීමට නියමිතව තිබුණේ කොළඹ 03 කොල්ලුපිටියේ, ඇන්ජලින් සෙනෙවිරත්න මහත්මිය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින පළමු සැකකරුගෙන් ඒ පිළිබඳ එහි නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී දෙවන සැකකරු පලාගිය බවට හෙළිවිය. පලාගිය සැකකරු පිළිබඳව ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය ඒකකය හරහා ගුවන් තොටුපොළ ආගමන විගමන ඒකකය දැනුම්වත් කර තිබූ අතර මේ මස 25 වන දින බැංකොක් බලා පිටවීමට තිබූ ගුවන් යානයකින් මෙම සැකකරු ගුවන් තොටුපළට පැමිණ තිබේ.

එම අවස්ථාවේදි ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දීම පරිදි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදි 2012-04-11 වන දින තැපැල් හුවමාරු අංශයේ සහකාර රේගු අධිකාරී තිස්ස දහනායක මහතා මේ මත්ද්‍රව්‍ය සඟවා තිබූ පාර්සල් වල බරින් සහ එහි ස්වභාවයෙන් ඒ පිළිබඳව ඇතිවූ සැකය මත මේ පාර්සල් රේගු පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

සැකය මත වෙන් කරන ලද පාර්සල් මුදවා ගැනීම සඳහා මේ මස 18 වන දින මේ සැකකරු විදේශ තැපැල් හුවමාරු අංශයට පැමිණි අවස්ථාවේදී මේ මත්ද්‍රව්‍ය අනාවරණය සිදු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යන අතර එම විමර්ශන කටයුතු සඳහා ජංගම දුරකථන දාහතක අංකයන් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් අවශ්‍ය වී ඇති බවත් අධිකරණයට දැන්වීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]