මතින් තොර නිවහනකට ජාතික අමද්‍යප සතියක්

මතින් තොර නිවහනකට ජාතික අමද්‍යප සතියක්

ලබන මස 3වැනිදා සිට 9වැනිදා දක්වා ජාතික අමද්‍යප සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර තිබේ. ජනතාව වෙසක් සතියේ මත්පැන් පානයට යොමුවීම වැළැක්වීමේ අරමුණ ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කැරේ.

“මතින් තොර නිවහනක්” යන්න මෙහි තේමාව වේ. මත්පැන්වලට ඇබ්බැහිවූවන් ඒවා පානය කිරීමට යොමු වන්නේ විශේෂයෙන්ම සවස් කාලයේ බැවින් එම කාලසීමාවේ ඔවුන් නිවෙස්වල රඳවාගැනීමේ වැඩසටහන් ගණනාවක් නිවාස ආශි‍්‍රතව ක්‍රියාත්මක කිරීමටද මේ යටතේ පියවර ගැනේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ගම් මට්ටමින් ක්‍රියාත්මක වන මරණාධාර සමිති, තරුණ සමිති, කාන්තා සමිති හා වෙනත් පුණ්‍යාධාර ආයතන මඟින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ග්‍රාම නිලධාරීන් දැනුම්වත් කිරීමටද නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මඟින් පාසල් දරුවන්ට මේ පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් මෙය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කැර ඇත.

තරුණ කටයුතු අමාත්‍යාංශය සියලු තරුණ සමිති මඟින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළ යටතේ සෑම නිවෙසකම ගෘහ මූලිකයන් ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් එක්ව පස්වරු හයේ සිට ආගමික වැඩකටයුතු ක්‍රියාත්මක කළ යුතුය. මත්පැන් පානයට යොමුවන්නන් නිවෙස්වල රඳවා ගැනීමට මෙයින් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එන්. ජී. පණ්ඩිතරත්න මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා