කොමිසමට එවූ මානව හිමිකම් පැමිණිලි සියල්ල විභාගයට

කොමිසමට එවූ මානව හිමිකම් පැමිණිලි සියල්ල විභාගයට

විමර්ශන ශ්‍රී ලංකාවේ නීතියට අනුවයි - මොහාන් පීරිස්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට ඉදිරිපත් කැරුණු මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ සියලු පැමිණිලි විභාග කොට නිසි පියවර ගන්නා බව හිටපු නීතිපති හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජික මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කෙළේය.

මේ විමර්ශන ශ්‍රී ලංකා නීති පද්ධතියට අනුව සිදුවනු ඇති බවද හේ පැවැසීය. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා එ.ජා.සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් විමසන ලදුව හිටපු නීතිපතිවරයා මේ ප්‍රකාශය කර ඇත.

මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන චෝදනා නඟන නමුදු ඔවුන් එසේ කරන්නේ එම චෝදනා සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැතිව බව ද මොහාන් පීරිස් මහතා කීය.

එපමණක් නොව ඔවුන් පවසන වින්දිතයන්ට සහන සලසන පිණිස මේ රාජ්‍ය නොවන සංවිධාන බලධාරින් කිසිවිටෙක පොලිසියට හෝ අධිකරණය හමුවට හෝ ගොස් ඇති බවක් දක්නට නැතැයිද පීරිස් මහතා කීවේය.

“ඔවුනට මේ මානව හිමිකම් උල්ලංඝනය චෝදනා දිස්ත්‍රික් උසාවියකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ ඔවුන් අභිමත ඕනෑම උසාවියක් හමුවට ගෙන ආ හැකියි.

ඔවුන්ගේ චෝදනාව සනාථ කෙරෙන ප්‍රමාණවත් සාක්කි සොයාගත නොහැකි අවස්ථාවල ඔවුන් පැවසීමට පුරුදුව ඇති පරිදි පොලිසිය සහයෝගය නොදක්වන්නේ නම් ඔවුනට පෞද්ගලික නීති ආයතනවල පිහිට ලබා ගත හැකි යැයිද ඔහු පැවැසුවේ හමුදාපති හමුවේ හෝ එම පෙත්සම් ඉදිරිපත් කළ හැකි බව තහවුරු කරමිනි.

අදාළ රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාතික සමුළු හමුවේ පවා ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නැඟීමට පෙළඹී ඇත්තේ එම සමුළු සංවිධායක ආයතනවලින් ඔවුනට ගෙවීම් සිදුකරන බැව්යැයිද ඔහු කීවේය. හුදු ආරංචි මත පමණක් ක්‍රියාමාර්ග ගැනීමට රටකට නොහැකි අතර මේ රාජ්‍ය නොවන සංවිධාන මේ දක්වා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝන චෝදනා ඉදිරිපත් කර නැතැයිද හේ පැවැසීය.

කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසම හමුවේ ප්‍රමාණවත් සාධක සහිතව නගා ඇති චෝදනා පවත්නා ශ්‍රී ලංකා නීතියට අනුගතව විමසා බලන බවත් ඒ සඳහා කාලයක් ගත වනු ඇති බවත් මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා